Tuesday 31 July 2018

කැනඩාවේ අත්දැකීම් (84) බඩු භාණ්ඩ විසි කිරීමේ-විකිණීමේ කලාව



අප කුඩා කල අත්දැකීම වනුයේ මිල දී ගත් බිත්ති ඔරලෝසුවක්, අල්මාරියක්, කන්නාඩි මේසයක්, සිංගර් මහන මැෂිමක් ජීවිත කාලයට ම තබා ගැනීම ය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ රටාව වනුයේ එවන් භාණ්ඩ ජීවන කාලයට ම තබා ගත නො හැකි බවයි. එක හේතුවක් වනුයේ භාණ්ඩවල ප්‍රමිතිය දුර්වල වීම ය. අනෙක නව තාක්ෂණයේ ප්‍රගමනය සමග නව නිර්මාණ එළියට ඒම ය.

කැනඩාවේ අප තාවකාලික ව සිටින 20 මහල් නිවාසයේ කසල ද්‍රව්‍ය තැන්පත් කරන ස්ථානයේ ලක්ෂණයක් වනුයේ වටිනා බඩු ද සමහර දවස්වල එතැන විසි කර තිබීම ය. සමහර විට නිවාස මාරු කරන උදවිය එසේ කරනවා ඇත. නැති නම් වර්ෂයක් පාසා පුරුද්දට බඩු අලුත් කිරීමට මෙහි වැසියන් ලබා ඇති හුරුව නිසා එසේ බඩු විසි කිරීම පුරුද්දක් ලෙස කරන බව දක්නට ලැබේ. මෙසේ විසි කරන බඩු සමහරුන් ගෙන යාම ද දැකිය හැකි ලක්ෂණයකි. වරෙක World Book විශ්වකෝෂයේ පොත් 10-12ක් පමණ ද එතැන පිළිවෙළට අසුරා තිබිණි. ඒවායින් කීපයක් මම ද ගතිමි.  එක පොතක පිටු 750ක් 1000ක් සහිත ඒ වටිනා පොත් විසි කළේ මන්දැයි පැහැදිලි නැත.

පාවිච්චි කළ පොත් ද, ටිකක් ඇඳී-පැළඳි ඇදුම්-සපත්තු-කරාඹු ද සුරතල් සතුන් ද ආදි නානාප්‍රකාර දේ ගැන විස්තර ලංකාවේ ikman.lk මෙන් ටොරොන්ටෝවේ ඇති  kijiji යන වෙබ් අඩවියට, ලාභයට විකිණීමට යයි සඳහන් කර ඇතුළත් කළ විට, ඒවා මිල දී ගන්නට අදාළ නිවෙස්වලට පාරිභෝගිකයන් ඒමේ සම්ප්‍රදායයක් ද පවති. 











 

No comments:

Post a Comment