Sunday 15 July 2018

කැනඩාවේ අත්දැකීම් (76) ඉවත දමන pizza පෙට්ටිය ඉගෙනුමට භාවිත කළ ආකාරය

1 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, පාසලට යාමට ඒමට බස් රථ පහසුකම් සලසා තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ළමයින්ට වෙන ම කුඩා බස් සපයා තිබේ.
දිනක් පාසල අවසන් ව නිවසට පැමිණෙන ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සමහර දෙනකු අත පීසා පෙට්ටි දක්නට ලැබුණි. පාසලේ සමහර දිනවල ළමයින්ට කෑම වශයෙන් පීසා සපයනු ලැබේ. ඒ සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා දී මුදල් ද ගෙවිය යුතු ය. ළමයින් මේ ගෙන එන්නේ, පාසලේ දී කිසියම් හේතුවක් නිසා අනුභව කරන්නට බැරි වුණ, එවැනි pizza සහිත පෙට්ටිය යැයි සිතුවෙමි. එහෙත් නිවසට පැමිණි විට දැන ගන්නට ලැබුණේ pizza කෑමෙන් පසු ඉවත දමන පෙට්ටි, ඉගෙනුම් කාර්යයකට භාවිත කර ඇති බව ය.
පෙට්ටියේ කොටස් දෙකෙහි සුදු සහ නිල් කොල අලවා තිබිණි. ඒ මත එක්කෝ රූප ඇඳ පාට කර තිබුණි. සමහර තැන්වල වචන ලියා තිබුණි. තවත් තැන්වල ක්ලේවලින් රූප සකස් කර තිබුණි. සුදු කොළයේ නිර්මාණ කර අකුරු ලියූ පසු, පෙට්ටියේ ඇලවූවා වන්නටත් පුඵවන. එය කුඩා සුදු කොළ භාවිත කර, ඇලවූ ආකාරයේ ද කලාත්මක බවක් දක්නට ලැබේ.
බැලූ බැල්මට, බාහිර අයකුට, මේ නිර්මාණයේ සමස්තය කුමක් දැයි පැහැදිලි නො වූව ද, පළමුවන ශ්‍රේණියේ ශිෂ්‍යයා සමඟ කතා කරන විට පැහැදිලි වූයේ, අහස  සහ ගොඩබිම පරිසර ලක්ෂණ ද ඒ දෙක අතර සම්බන්ධය ද  pizza පෙට්ටියේ උඩ සහ යට කොටස්වල නිර්මාණවලින් නිරූපණය වන බව ය. ගොඩබිම පරිසර ලක්ෂණ යටතේ යට ම ඇති කොළ පාට මගින් නිරූපණය කර ඇත්තේ, ලොකු ගසක් අසල, ඇටයක් පැළ කළ පසු එය ටිකෙන් ටික වැඩි ගසක් නිර්මාණය වන ආකාරය සහ පසු ව ගසෙහි හට ගන්නා මලකින් වැටෙන ඇටයක් නැවත පැළ වෙන්නට පටන් ගන්නා ආකාරයත් ය. මේ ක්‍රියාවලියට පරිසරයේ අංගයක් වන අහසේ වැස්ස, හිරු, වළාකුඵ, සුළඟ (මේවා නිරූපණය කර ඇති අයුරු බලන්න) නිසා ඇති වන කාලගුණික වෙනස්කම් බලපාන බව ද ශිෂ්‍යයා ඉගෙන ගෙන තිබේ.
මේ ක්‍රියාකාරකමට කොතරම් කාලයක් හෝ දින ගණනක් ගත්තේ ද යනු අපැහැදිලි ය. එහෙත් මෙමගින්, පළමුවන ශ්‍රේණියේ ශිෂ්‍යයාට, විවිධ විෂය ක්ෂේත්‍රවල නිපුණතා සමෝධානික ව ලබා දීමට සමත් වී තිබෙන බව නම් පැහැදිලි ය. විද්‍යා සංකල්ප, කලා සංකල්ප, ගණිත සංකල්ප, භාෂා සංකල්ප මෙන් ම පර්යේෂණ සංකල්ප ද ලබා දී ඇත. එහෙත් කිසි ම විෂයයක්, විෂයයේ නමින් උගන්වා නැත. 1 වන ශ්‍රේණියේ මෙන් ම ප්‍රාථමික අධ්‍යාපනයේ ද පරමාර්ථය-පදනම විය යුත්තේ මේ සමෝධානික ලක්ෂණයයි.
 පරිසරයේ කාලය අනුව ක්‍රමානුකූල ව ඇති වන වෙනස්කම් නිරීක්ෂණයෙන්, ඒවා නිරූපණයට කුසලතා ලබා දී ඇති නිසා නිරීක්ෂණ පර්යේෂණ කුසලතා ලැබී, අන්වායාම පර්යේෂණ කුසලතා ද ශිෂ්‍යයන්ට ලැබී ඇත. Pizza පෙට්ටිය නැමැති සීමිත පරිසරයක, මේ නිර්මාණය කිරීමට පුරුදු වී ඇති නිසා, සීමිත සම්පත්, කාලය සහ අවකාශය, ඵලදායි ලෙස භාවිතයට ගැනීමට පුරුද්දක් ද ලබා දී ඇත. pizza අනුභව කළ පසු ඒවා ඇතුළත් පෙට්ටිය අපද්‍රව්‍යයක් ලෙස විසි කරනු වෙනුවට, මිනිසාට ප්‍රයෝජන ගත හැකි පරිදි භාවිත කළ හැකි ආකාරය ද උගන්වා ඇත. ඒ කසල කළමනාකරණය පිළිබඳ මුල් පාඩමක් වැනි ය.
නිර්මාණයේ තැනින් තැන සිටුවන ලද ආකාරයෙන් නිර්මාණය කරන ලද ගස් දෙකක් ද දක්නට ලැබේ. එමගින් දිග සහ පළල යන මාන දෙකට අමතර ව, උස යන මානය ද පවතින බවට හැඟීමක් ලබා දී ඇත. එනම් ගණිතයේ ත්‍රිමාණ සංකල්පය පිළිබඳ ඉඟි ද ලබා දී ඇත.
මේ නිර්මාණයේ ලියා ඇති ඉංග්‍රිසි පද සමහරක, ලිවීමේ දෝෂ දක්නට ලැබේ. එහෙත් දෝෂ උඵප්පනු වෙනුවට ශිෂ්‍ය නිර්මාණයේ සමස්තය ඇගයීම, 1 වන ශ්‍රේණියේ ප්‍රතිපත්තිය බව දක්නට ලැබේ.  'ෙදාස් හෝ වැරදි හෝ අඩුපාඩු කාලය විසින් සකස් කරනු ඇත' යන ධනාත්මක චින්තාව ඇති බවක් ද දක්නට ලැබේ.
මේ ක්‍රියාකාරකමට,  මා "අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (49)" යටතේ ලියූ, "පියවරුන්ගේ දිනය ඉලක්ක කර ගත් අන්වායාම පර්යේෂණ කුසලතා" යටතේ සඳහන් කළ පැළය සිටුවීමේ ක්‍රියාකාරකම ද සම්බන්ධ බව පැහැදිලි ය. එහි සඳහන් කළ කරුණු ද පළ කළ ඡායාරූපයක් ද නැවත මෙහි දක්වනුයේ ක්‍රියාකාරකම් දෙකෙහි සම්බන්ධය හඳුනා ගැනීම සදහා ය. ජුනි 14 වන දා ගෙන ආ පැළය, ජූලි 14 වන දා වන විට, බෝංචි කරලක් ද සහිත ව වර්ධනය වූ ආකාරය දක්වන ඡායාරූප දෙකක් ද දක්වනුයේ, ශිෂ්‍යයා පැළය වැඩෙන අයුරු නිරීක්ෂණයට යොමු කර, නිවසේ ඉගෙනුම් පරිසරය සකස් කිරීමට පාසල දක්වන දායකත්වය නිරූපණය කිරීම සඳහා ය. එය "ගෙදර වැඩ" නැමැති කෘත්‍රීම ක්‍රියාකාරකමට වඩා, ශිෂ්‍ය මිතුරු ය. ජූලි සහ අගෝස්තු මාස දෙක දිගු නිවාඩුවක් ලෙස ලබා දී නමුදු 1 වන ශ්‍රේණියේ සිසුන්ට කිසිදු වෙනත් ගෙදර වැඩක් පවරා නැත.  4 වන ශ්‍රේණියේ සිසුන්ට ද  ගෙදර වැඩ ලබා දී නැති බව පකිස්තානයෙන් ආ අසල්වැසියකු පැවසී ය. සිසුන්ට පාසලේ නිවාඩු දෙන්නේ, නිවාඩු පාඩුවේ සිටීමට මිස, ශ්‍රී ලංකාවේ මෙන් ගෙදර වැඩ කිරීමට හෝ අමතර පන්ති යාමට නො වන බව මින් පැහැදිලි ය.

(අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (49) පියවරුන්ගේ දිනය ඉලක්ක කර ගත් අන්වායාම පර්යේෂණ කුසලතා
2018 ජූනි 14 වන බ්‍රහස්පති දා පාසල් ගිය 1 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, පාසල අවසන් ව නිවසට එන විට, පෝච්චියක පැළ වූ පැළෑටිය බැගින් ගෙන ආහ. ජූනි 17 වන ඉරිදා පියවරුන්ගේ දිනය බවත් එදින පියවරුන්ට තෑගි දීමට එය ගෙනා බවත් දැන ගතිමි. තවදුරටත් කරුණු සොයන විට පැහැදිලි වූයේ මීට මසකට පමණ පෙර,  පාසලේ  දී ඇට පැළ කළ බවත්  එය ක්‍රමානුකූල ව වැඩෙන අයුරු නිරීක්ෂණයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ව විටින් විට යොමු කර ඇති බවත් ය. මෙසේ වැඩුණු පැළ, බ්‍රහස්පති දා වෙන වෙන ම භාජනවල සිටුවා ගෙවල් වෙත එවනු ලදුයේ, ඉරිදාට ඒවා පියාට පරිත්‍යාග කරනු පිණිස ය.
මේ ක්‍රියාකාරකම, සාම්ප්‍රදායික ව සමරනු ලබන විවිධ "දින", ශිෂ්‍ය නිපුණතා ඔප් නංවන අරමුණින් සංවිධානය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි ය. මෙය ඍතු භේදය සහිත කැනඩා පාසලකට උචිත වනුයේ, එමගින් පැල වැඩෙන්නට හොඳ පරිසරයක් ඇති ග්‍රීෂ්ම ඍතුවේ කළ හැකි ක්‍රියාකාරකමක් නිසා ය. එමගින් පරිසරයේ ගහකොල ගැන ශිෂ්‍ය අවධානය ද යොමු කෙරෙයි.  අන්වායාම ව (longitudinally) (එනම් එක ම කරුණක් ගැන දිගු කලක් දත්ත රැස් කිරීම) පැළයක වැඩීම නිරීක්ෂණයට ද ශිෂ්‍යයන් ව යොමු කර, ඔවුන්ගේ අනාගත අන්වායාම පර්යේෂණ (longitudinal research) කුසලතා ඔප් නැවීමට ද පදනමක් දමා ඇත්තේ ය.
ලිවීමේ කුසලතා ඔප නන්වන්නට ද ක්‍රියාකාරකම භාවිත කර තිබේ.)  










 

No comments:

Post a Comment