Tuesday 10 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (59) ඵලදායි ගුරුවරුන් හඳුනා ගැනීමේ ලා ඇවැසි පර්යේෂණ


හැදින්වීම
Michael Strong (2011) The highly qualified teacher: what is teacher quality and how do we measure it?  New York: Teachers College Press.  යන පොත ලියූ මයිකල් ස්ට්‍රෝන්ග් කතුවරයාගේ පරමාර්ථය වූයේ ගුරු ගුණාත්මකභාවය සහ ගුරු කාර්යක්ෂමභාවය පිළිබඳ ව කර ඇති පර්යේෂණ සහ තවදුරටත් පවතින විවාදාපන්න ප්‍රශ්න (issues) සමාලෝචනය කර, ගුරුවරුන් ඇගයීම සඳහා, නිරීක්ෂණ පාදක කර ගෙන නව මිනුමක් සකස් කිරීම ය. විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනුයේ 2010 දී ඇමරිකා එක්සත් ජනපදයේ මහජන අවධානය යොමු වූ 'ශිෂ්‍ය සාධන මට්ටම් (student achievement levels) නගා සිටුවීම සදහා ගුරු භූමිකාව බලපාන අයුරු'  පිළිබඳ ව ය. ජනාධිපති බැරුක් ඔබාමා ද වොෂින්ටන් ඩී.සී. නගරයේ නගරාධිපති ද ක්‍රියාත්මක කළ, ගුරු වගවීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ (උදා- ගුරු වගවීම බලවත් කිරීමට උචිත ගෙවීම් ක්‍රම හා කාර්යක්ෂමතාව මිනුමට නව ක්‍රම) නිසා, මේ  විෂයයට අදාළ ව අභිනතියෙන් තොර වූ සමාලෝචනයක අවශ්‍යතාව මතු විය. ඒ අනුව ශිෂ්‍ය සාධනය සදහා, ගුරු භූමිකාවේ බලපෑම පිළිබද ව, වාස්තවික දත්ත හා විද්‍යාත්මක පර්යේෂණ අනාවරණ සහිත සන්දර්භයකින් සලකා බැලීමට කෘතිය ලියැවී තිබේ.
"විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම" යන නිර්ණායකය අනුව, කාර්යක්ෂමතාව අඩු හා වැඩි ගුරුවරුන් හදුනා ගැනීමට උචිත, ප්‍රායෝගික ක්‍රමයක් ලෙස කෘතියෙන් යෝජිත වනුයේ පන්තිකාමර නිරීක්ෂණයයි. පන්තිකාමර නිරීක්ෂණ මගින්, කාර්යක්ෂමතාව අඩු හා වැඩි ගුරුවරුන් හදුනා ගැනීමට අමතර ව,  ගුරුවරුන්ගේ වෘත්තිය සංවර්ධනය සහ ඔවුන්ට අවශ්‍ය උපදේශනය ගැන තීරණ ගැනීම සදහා ඇවැසි පදනම් ද හඳුනා ගත හැකි යයි අපේක්ෂා කොරේ.
මේ අනුව කෘතිය ශ්‍රී ලංකාවට ද අදාළ වන්නේ, "විභාග ප්‍රතිඵලවලට වගකිව යුත්තේ ගුරුවරයා ය" යන පූර්ව විනිශ්චයක සිට "ගුරුවරුන් පෙළන සංස්කෘතියක්" ශ්‍රී ලංකාවේ සමහර ස්ථානවල දක්නට ලැබෙන නිසා ය.  

පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය
ඉතා ඉහළ සුදුසුකම් සහිත ගුරුවරයකු සතු ගුණාංග මොනවා ද? ඒවා මනින්නේ කෙසේ ද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම සදහා කතුවරයා විමසා ඇති පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයන්, ගුරුවරයාට සම්බන්ධ විවිධ පර්යේෂණ සමාලෝචනය කර ඇත. එයින් පාර්ශ්ව දෙකක් පමණකි දක්වමි.
එක් පාර්ශ්වයක් අනුව, පන්තිකාමරයේ ගුරුවරයකු කටයුතු කරන ආකාරය ගැන තොරතුරු රැස් කිරීමට භාවිත කළ හැකි ක්‍රම 7කි.  
  • ·         පන්තිකාමර නිරීක්ෂණය
  • ·         පාසල් පරිපාලකයන්ගේ ඇගයුම- මේ සදහා පරිපාලකයන්  එක්ටැම් ගෙවල් (Ivory tower) වන් කාර්යාලවලට සීමා ව නො හිඳ, පන්තිකාමර නිරීක්ෂණ මෙන් ම ශිෂ්‍ය -දෙමාපිය ප්‍රතිචාර ද ශිෂ්‍ය ප්‍රගතිය පෙන්වන ලකුණු ද ශිෂ්‍යයාගේ ඉතිහාසය මෙන් ම ගුරුවරයාගේ ඉතිහාසය ද පදනම් කර ගත යුතු ය.
  • ·         ගුරුවරයා තබා ගන්නා සටහන් ගොනුව (Teacher portfolio
  • ·         ඉගැන්වීමේ පල ලෙස ඉතිරි වන ලේඛන, ද්‍රව්‍ය (Teaching artefacts)
  • ·         ගුරුවරුන්ගේ ස්වයං වාර්තා (Teacher self reports) - ගුරුවරුන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි භාවයෙන් රැස් කරන දත්ත, ගුරුවරයා තබන ලෝග් සටහන් සහ දින සටහන් විශ්ලේෂණය මගින් පන්තිකාමර ව්‍යවහාර තක්සේරු කළ යුතු ය.
  • ·         ශිෂ්‍ය තක්සේරු වාර්තා (Student ratings)
  • ·         ඇගයුම් මිශ්‍රිත ආකෘතිය (Value-added modeling) (VAM) - මෙමගින් පාසලත් ශිෂ්‍යයාත් ගුරුවරයාත්  ඇතුඵ සියලු පසුබිම් සාධක පදනම් කර ගෙන ශිෂ්‍ය ප්‍රගතිය නීර්ණය කරන නිසා, පළල් නිර්ණායක  භාවිත වේ. මීට පෙර පැවති ඇගයුම් ක්‍රම තුනෙහි දී වූයේ පහත සඳහන් සීමිත ක්‍රම ය.
(අ) ශිෂ්‍ය ප්‍රගතියේ පවතින තත්ත්වය  % ලෙස එක් සංකේතයකින් දැක්වීමේ ආකෘතිය (status model).  
(ආ) පසුගිය වර්ෂයේ එක් ශ්‍රේණියක ප්‍රතිඵල ඊළඟ වර්ෂයේ දී එම ශ්‍රේණියේ ම ප්‍රතිඵල හා සැසඳීම. එහෙත් මෙහි දී ශිෂ්‍ය කාණ්ඩ දෙක වෙනස් ය (උදා-  2015 දී 11 වන ශ්‍රේණියේ  සිසුන්‍ගෙන් 60%ක් සමත් වූහ.  2016 දී 11 වන ශ්‍රේණියේ  සිටින සිසුන්ගෙන් සමත්  ප්‍රතිශතය 55%ක් විය. එනිසා   2016 ගුරුවරයා දුර්වල ය) (cohort-to-cohort change model)
(ඇ) පසුගිය වර්ෂයේ එක් ශ්‍රේණියක සිසුන්ගේ ප්‍රතිඵල සමඟ ඊළඟ වර්ෂයේ එම සිසුන්ගේ ම ඊළඟ ශ්‍රේණියේ  ප්‍රතිඵල හා සැසඳීම (උදා-  2015 දී  6 වන ශ්‍රේණියේ සිසුන්‍ගෙන්‍ 70%ක් සමත් වූහ.  2016 දී එම සිසුන් ම 7 වන ශ්‍රේණියේ සිටින විට සමත් ප්‍රතිශතය 55%ක් විය. එනිසා   2016 ගුරුවරයා දුර්වල ය) (growth model)
පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයේ  තවත් පාර්ශ්වයක් අනුව ගුරු තෘප්තිය (satisfaction) යන සාධකය විග්‍රහ කර ඇත. විවිධ වෘත්තින්වල සාමාජිකයන්ගේ තෘප්තිය තරා කළ විට පවතින තත්ත්වය සහ සැබවින් ම පැවතිය යුතු තත්ත්වය මෙහි දී සසඳා තිබේ. තෝරා ගත් වෘත්තීන් කීපයකට අදාළ ව දක්වා ඇති දත්ත මෙසේ ය.
ශල්‍ය වෛද්‍ය                                    -  පවතින    1    පැවතිය යුතු   1  
ජ්‍යෙෂ්ඨ ද්විතීයක අංශ ප්‍රධාන ගුරු     - පවතින    8     පැවතිය යුතු   3
ප්‍රාථමික අංශ ප්‍රධාන ගුරු                    - පවතින    10   පැවතිය යුතු   4  
ද්විතීයක අංශ ගුරු                              - පවතින    12   පැවතිය යුතු   6  
ප්‍රාථමික  අංශ ගුරු                              - පවතින    14   පැවතිය යුතු   7
  
නිරීක්ෂණ උපකරණය
කෘතිය අවසානයේ, සම්පරීක්ෂණ පර්යේෂණ 3ක් පදනම් කර ගෙන, 4 වන සම්පරීක්ෂණ පර්යේෂණය සඳහා,  ගණිත ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට සැකසු, නියාමක පරීක්ෂණයකට අයත් නිර්ණායක 10ක් ද ඒවා ගැන විස්තර ද සහිත නිරීක්ෂණ පත්‍රිකාවක් කෘතියේ සදහන් වේ (ගණිතය විෂයය මූලික කර ගෙන සැකසුණ ද, අනෙකුත් විෂය සම්බන්ධ විධිමත් පර්යේෂණ සඳහා ද මේ නියාමක පරීක්ෂණය, උචිත පරිදි විකරණය කර භාවිත කළ හැකි බව මගේ අදහසයි). නියාමක පරීක්ෂණයේ ඇති නිර්ණායක මෙසේ ය. 
1.       පාඩමේ පරමාර්ථය, අභිමතාර්ථ, සුවිශේෂී අරමුණු සහ ඉගෙනුම් පල (outcome) ශිෂ්‍යයන්ට වාචික ව හෝ දෘශ්‍ය ලෙස සන්නිවේදනය වීම; ගණිත පාඩම ගලා ගෙන යන අතර, ශිෂ්‍යයන් ප්‍රතිස්තම්භනය සදහා, පාඩමේ අභිමතාර්ථ සිසුන්ට අවධාරණය කිරීම;  පාඩමේ පරමාර්ථය සිසුන්ට සවිඥානක අතර, ඒ අනුව තමා කරන ක්‍රියාකාරකම් එසේ කරන්නේ ඇයි? යන ප්‍රශ්නයට ඔවුන්ට තම වචනවලින් ම කරුණු කිමට හැකි වීම.
2.       ශිෂ්‍ය පසුබිම ගැන අවබෝධය;  පාඩමට ඇති ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ව ගුරුවරයාට ඇති හැකියාව හා ආත්ම විශ්වාසය (comfortable); ශිෂ්‍යයන් පිළිබඳ ව කර ඇති පූර්ව ඇගයුම් හා ඒවායින් ළමයින්ට ලැබුණු  මට්ටම් ද ශිෂ්‍ය සූදානම ද ශිෂ්‍ය පුර්ව දැනුම ද  සමෝධනය කිරීම;  ඒ අනුව ශිෂ්‍යයන්ට ළඟා කර ගත හැකි පරිදි, පාඩම උගැන්වීම.
3.       පාඩම ඉදිරිපත් කිරීමේ විවිධාංග, ආකෘති, පර්යාලෝක, ඉගෙනුම් ශෛලි ගැන ගුරුවරුන් හා සිසුන් පාඩම පුරා අවධානයෙන් සිටීම; ගැටලු විසඳීමේ ලා ද විවාදාපන්න ප්‍රශ්න අරඹයා ද සොයා ගන්නා විසඳුම්වල දී ද විකල්ප මාර්ග ගැන ගුරුවරු හා සිසුහූ ගවේෂණය කරති; අවශ්‍ය පරිදි සාකච්ඡා, ලිඛිත ඉදිරිපත් කිරීම්, චල වින්දන ක්‍රියාකාරකම් (kinesthetic activities), හැසිරවුම් (manipulatives),  ශ්‍රව්‍ය-දෘශ්‍ය ආධාරක පාඩමට අඩංගු වනු ඇත; ශිෂ්‍ය ඉගෙනුම් වරණ (preferences) සහ අභිරුචි (interests) ගුරුවරයා අවශ්‍ය විට භාවිතයට ගනියි.
4.       උගන්වන ගණිත සංකල්පයට අදාළ ව බහුවිධ උදාහරණ සැපයීම සහ ශිෂ්‍යයන්ගෙන් බහුවිධ උදාහරණ උත්පාදනය කර ගැනීම (elicit),
5.       පාඩමේ දී ශිෂ්‍ය දායකත්වය නිරවද්‍ය (accurate) හා ප්‍රමාණවත් නො වන බවට උචිත ඉගි දීම;  ශිෂ්‍යයාට ම නිවැරදි පිළිතුර සමඟ සැසඳීමට,  උචිත නො වන උදාහරණ දීම නැත හොත් ශිෂ්‍ය ප්‍රතිචාර, පාඩමින් අපේක්ෂා කළ දැයට අදාළ නොවන්නේ ඇයි දැයි වක්‍ර ව පැවසීම; ශිෂයන්ගෙන් වැරදි පිළිතුරු ලද විට, එවාට පදනම් වූ පාඩමේ වැරදි සංකල්ප ගැන සිතුවිල්ල යොමු කිරීම
6.       පාඩමේ වේගය ශිෂ්‍යයන්ට අවබෝධ කර ගත හැකි මට්ටමට විය යුතු ය;  එසේ ම ඕනෑවට වඩා වේගය අඩු වුව හොත් උනන්දුව අඩු වනු ඇත.
7.       පාඩමේ ක්‍රියාවලියට අදාළ ව,  ඇයි? (Why?) සහ කෙසේ ද? (How?)යන ප්‍රශ්න මුල් වූ ප්‍රතිචාර ශිෂ්‍යයන්ට දීමට හැකි වන ලෙස පාඩම ගොඩ නැඟීම;  හුදෙක් හරි හෝ වැරදි යයි පමණක් සිසුන්ගෙන් කියැවෙන ප්‍රශ්න නො ඇසිය යුතු ය; ශිෂ්‍ය ප්‍රතිචාර පසුපස ඇති සිතිවිලි ගවේෂණයට හැකි ලෙස ප්‍රශ්න ඇසීමට ගුරුවරයා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඇසිය හැකි ප්‍රශ්න මෙසේ ය. "ඔබ එහෙම කියන්නේ ඇයි? ඔබ එම පිළිතුර සොයා ගත්තේ කෙසේ ද?"
8.       අර්ථවත් ව සහ පාඩමේ ඒ ඒ අවස්ථාවේ මතු වන තත්ත්ව අනුව, මිතුරන් හෝ කඵලැල්ල සමග අන්තර්ක්‍රියාවෙන් ඉගෙනීමට මග පෙන්වීම;  ශිෂ්‍යයන්ට අවශ්‍ය, පුහුණුවට හා වැරදි වහා නිවැරදි කිරීමට හැකි මග පෙන්වීමේ ක්‍රියාවලියක් (guided practice) භාවිත වීම; කුසලතා පාදක ක්‍රියාවලියකට (skill based process) සම්බන්ධ පැහැදිලි පියවර ශිෂ්‍යන්ට සැපයිය යුතු ය.
9.       උචිත වූ පැහැදිලි භාෂාවකින් විස්තර සැපයීමෙන්  සහ පැහැදිලි කිරීමෙන් ගණිත සංකල්පය පිළිබඳ ශිෂ්‍ය අවබෝධය උපරිම කිරීම; ගුරුවරයා පන්තියේ භාවිත කරන භාෂාවෙන්, ඔහුගේ ගණිත සංකල්ප දැනුම මෙන් ම අදහස් පළ කිරීමේ වාච්‍ය හැකියාව ද පරාවර්තනය වේ. එමගින් සියලු ශිෂ්‍යයන්ට අවබෝධ කර ගත හැකි වන පරිදි, ගුරුවරයාගේ විස්තර කිරීම් පැහැදිලි අතර,  ව්‍යාකූල නො වේ.
10.   පාඩම පුරා, ශිෂ්‍ය සහභාගිත්වය උපරිම වීම;   ශිෂ්‍යයා පාඩම් කාලයේ දී උපරිම ව පාඩමට සහ අදාළ ක්‍රියාකාරකම්වලට  සහභාගි වීම.


No comments:

Post a Comment