Wednesday 4 July 2018

කැනඩාවේ අත්දැකීම් (69) කුරුලු රාජධානියේ පැරණි බුදු පිළිමය

  • 1.  නයගරා දියඇල්ල නරඹන්නට යන විට, ඒ අවට නරඹන්නට ඇති ස්ථානයක් නම් කුරුලු රාජධානියයි.  විශේෂත්වය වනුයේ, මහා මාර්ගය අසල තට්ටු හතරක ගොඩනැගිල්ලක කුරුලු රාජධානිය තිබීමයි.  මේ ලොව ඉදි වූ විශාල ම කෘත්‍රීම කුරුලු ගෙයයි. කෘත්‍රීම කූඩුවල මෙන් ම ස්වභාවික පරිසරවල ද කුරුල්ලන්ට සිටින්නට හැකි ලෙස ගොඩනැගිල්ලේ පරිසරය සකස් කර තිබේ. දිවා කල මෙන් ම රාත්‍රී කල ද සිටින (වවුලන්, බකමූනන් වැනි) කුරුල්ලන්ගේ ජීවන රටා නිරූපණයට උචිත ලෙස විවිධ ස්ථාන සකස් ව තිබේ. ගිරවුන් සමඟ ගිරවියක සේ කතාකරන කාන්තාවක ද නිරීක්ෂණය කරන්නට ලැබිණි.  
  •  
  • 2.  Bird kingdom යන නම තිබුන ද දිවා කලත් රාත්‍රියෙහිත් සැරිසරන කුරුල්ලන් මෙන් ම සර්පයන්, ඉබ්බන් වැනි වෙනත් විවිධ සතුන් ද මෙහි ප්‍රදර්ශනය කර ඇති නිසා, එක් අතකින් සත්ත්ව උද්‍යානයකට සමාන ය. 
  •  
  • 3.  නයගරා දියඇල්ලට සම්බන්ධ ඉතිහාස කරුණු සහිත කෙෘතුකාගාරයක් ද තිබෙන නිසා ගොඩනැගිල්ලේ ආකෘතිය මෙන් ම අන්තර්ගතය ද සංකීර්ණ ය. මිසරයේ පාරාවෝ රජුන්ට ද සම්බන්ධ කෙෘතුක වස්තු ද මෙහි ඇතැයි කියවුණත් වැඩි විස්තර නො දනිමි. උතුරු ඇමරිකා ආදිවාසීන්ගේ ගෘහ නිර්මාණ සම්ප්‍රදාය අනුව සැකසුණු අලංකාර විශාල දොරක් ද වේ. 
  •  
  • 4.  ජාවා සම්ප්‍රදායයෙන් තේක්ක දැවයෙහි සියුම් කැටයම් භාවිත කර, 1875 දී ඉදි වූ, පෝසතකු සතු වූවා යැයි සැලකෙන නිවසක් ද දක්නට ලැබේ. මේ ශෛලියෙන් උතුරු ඇමරිකාවේ ඉදි වූ එක ම ගොඩනැගිල්ල මේ යැයි සලකනු ලැබේ.  
  •  
  • 5.  මේ සියලු දෑ නරඹා පහළට බසින විට ග්‍රීක සම්ප්‍රදායයේ කැටයම් සහිත පෙදෙසක පැරණි බුදු පිළිමයක් ද දක්නට ලැබේ. මේ කුමක් දැයි ගොඩනැගිල්ලේ ඇතුඵ වන තැන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන තැන කාන්තාවගෙන් විමසු විට ඇයට ඒ ගැන අවබෝධයක් නො වූවා ය. පහළ ම මහලෙහි වෙළෙඳ සැලේ කාන්තාවකගෙන් ඇසු විට ඇය ද එහි ඉතිහාසය දැන නො සිටියා ය. එහෙත් එම වෙළෙඳ සැලෙහි විකුණන්නට බුදු පිළිම තිබෙන බව පැවසුවා ය. ඒ අනුව කුමක් හෝ බෙෘද්ධ ඉතිහාසයට  සම්බන්ධයක් මේ ගොඩනැගිල්ලේ තිබෙන්නට පුඵවන.  මිසරයට ඇති සම්බන්ධය හා මේ බුදු පිළිමය අතර ද සම්බන්ධයක් තිබෙන්නට පුඵවනැයි උපකල්පනය කරමි.





























































































































  • 6.  https://www.birdkingdom.ca/ යන වෙබ් අඩවියෙන් තවත් විස්තර කියවිය හැකි ය.   https://www.facebook.com/birdkingdomniagarafalls/ යන මුහුණු පොත් පිටුවේ ද විස්තර ඇත.

1 comment: