Friday 13 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (60) අධ්‍යාපන පර්යේෂණ විෂයය පිළිබඳ පළමු සිංහල කෘතිය - චන්ද්‍රා ජයසූරිය භූමිකාව


කොළඹ විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපන පීඨයේ සේවය කර විශ්‍රාම ලැබූ මහාචාර්යතුමියක වූ චන්ද්‍රා ජයසූරිය මහත්මියගේ  අභාවය (මැයි මස සිදු වූ)  පිළිබඳ ව ඉතා ම කනගාටුදායක ආරංචිය අද මට ලැබුණි.  මේ අවස්ථාවේ දී ඇය කළ සේවය ගැන කරුණු බිඳක් කියන්නට කැමැත්තෙමි.
පළමු ව, මා 1972-1975 කාලයේ දී, කොළඹ විශ්වවිද්‍යාලයයේ සමාජ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව + අධ්‍යාපනවේදී උපාධිය හදාරන කල, "ඇගයුම් සහ සංඛ්‍යානය" විෂයය උගැන්වූයේ මෙතුමියයි. ශිෂ්‍ය මිතුරු ශෛලියෙන් වූ ඇයගේ කථිකාචාර්ය භූමිකාව ඉතාමත් අගය කළ යුතු ය. කලා විෂයධාරාව මගින් උසස් අධ්‍යාපනයට පිවිසි මට, ගණිතයට සම්බන්ධ සංකල්ප තේරුම් ගන්නට, ඇයගේ ඉගැන්වීම් ශෛලිය බෙහෙවින් උපකාර විය. එකල තිබූ පහසුකම් අනුව, නව කලාගාරයේ තිබූ කඵලෑල්ල පමණක් භාවිත කරමින්, ඇය සංඛ්‍යාන සංකල්ප උදාහරණ සහිත ව පැහැදිලි කර දුන් අයුරු, අදටත් මතකයේ තිබේ.  දැනටත් මා සතු ව ඇයගේ දේශන ආශ්‍රිත ව ලියා ගත් සටහන් තිබේ.
දෙවනු ව, මට මතකයි එතුමිය කියනවා ඇය විදෙස් රටක ඉගෙන ගන්නා කල, බෙන්ජමින් එස්. බ්ලූම් යටතේ ද විෂයය හැදෑරු බව.  බ්ලූම්ගෙන් ගැටලුවක් ගැන විමසු විට "ඔව්"  "නෑ" ලෙස කෙටි උත්තර දුන් බවත් ඒ නිසා ශිෂ්‍යයා ලෙස තමාට ම ස්වයං ඉගෙනුමක් ලබන්නට මග පෑදුණු බවත් එතුමිය නොකියා කීවා ය. ඇයගේ දේශනයක දී, නොතේරෙන තැන්  ශිෂ්‍යයන්ට ඇතැයි ඉවෙන් මෙන් දැන ගෙන බ්ලූම් ගැන මේ අදහස් කියූ බව ද සිතමි.  බ්ලූම් කොයි වෙලාවෙත් පුස්තකාලයේ පොතපත අතර ගැවසුණු බවත් එතුමිය පැවසුවා ය. ඇයගේ උගැන්වීම් ශෛලියේ ලක්ෂණයක් වූයේ දේශන නො දී, කීප වරක් පැහැදිලි කරමින්, සංඛ්‍යාන සංකල්ප පැහැදිලි කර දීමයි. ඒ අතර ම අවබෝධය සඳහා ශිෂ්‍ය කැප වීමත් අවශ්‍ය බව වක්‍රානුකූල ව ඇය බ්ලූම් පිළිබඳ උදාහරණයෙන් පැවසූවා වැනි ය.
තෙවනු ව,  අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන සිංහල මාධ්‍යයෙන් ප්‍රථම කෘතිය,  "අධ්‍යාපන පර්යේෂණ ක්‍රමශිල්ප" නමින්  පළ කරනු ලැබුවේ ද එතුමියයි. එම කරුණ වුණත් ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පර්යේෂණ ක්ෂේත්‍රයට කළ සේවය ප්‍රමාණනය කරන්නට ප්‍රමාණවත් ය. අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවිද්‍යාවේ විවිධ පැති ආවරණය කළ එම කුඩා පොතට සමාන පොතක් සිංහලෙන් තාම පළ වී නැත. ඊට හේතුව අනතුරු ව  පළ වූ පොත් නාභිගත වන්නේ පර්යේෂණ ක්‍රමවිද්‍යාවෙහි තෝරා ගත් පැතිවලට පමණක් වීමයි.  එතුමිය එකී පොත පළ කරන විට, පොදුවේ පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන සිංහලෙන් පළ වී තිබුණේ ද ගතාරේ ධර්මපාල හිමිගේ පර්යේෂණ පොත පමණකි. මේ නිසා අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන මෙන් ම, පොදුවේ පර්යේෂණ ක්‍රමවිද්‍යාවට අදාළ සිංහල පොතපත විග්‍රහ කරන විටත්, "චන්ද්‍රා ජයසූරිය" යන නමට ඓතිහාසික වටිනාකමක් හිමි වේ. 
එතුමියට නිවන් සුව පතමි.
ආරංචිය දුටුවේ Marie Perera මුහුණු පොත් පිටුවෙනි.
May 8 ·

Professor Chandra Jayasuriya the most unconventional, humble and caring academic and former Dean of the Faculty of Education passed away last week.
thank you madam for making educational statistics so simple for me and my TESL colleagues who found the subject difficult.
May you rest in peace!


No comments:

Post a Comment