Sunday 1 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (55) ඉගැන්වීමට නො හැකි ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ කලාව පිළිබඳ නිසල දැනුම



Nigel Francis (2012) Teaching the unteachable student: 50 successful strategies to help build character among challenging high school youth. Bloomington: iUniverse, Inc. යනු පාසලේ ඉහළ පන්තිවල සිටින අභියෝගාත්මක ළමයින්ගේ (කට්ටි පනින, පවරන වැඩ මග හරින) "චරිතය" ගොඩ නැගීමට උදව් විය හැකි උපායමාර්ග 50ක් සහිත කෘතියකි. සාම්ප්‍රදායික පන්තිකාමර කළමනාකරණ ක්‍රමශිල්පවලින් ඔබ්බට ගිය පොතකි. ශිෂ්‍යයකුගේ සාර්ථක බව සදහා දියුණු කර ගත යුතු, පහත සඳහන් මූලික චරිතාංග 6 යටතේ උපායමාර්ග 50ක් දක්වා තිබේ.
·         Respect ගරු කිරීම
·         Responsibility වගකීම
·         Perseverance උට්ඨාන වීර්යය
·         Caring සැලකීම
·         Citizenship පුරවැසි බව
·         Trustworthiness විශ්වසනීය
උපායමාර්ග නම් කර තිබෙනුයේ කැනඩා ජාතිකයකු වූ Nigel Francis යන කර්තෘ‍ගේ නමින් "ෆ්‍රැන්සිස් නීති" 1, 2, 3 යනාදි ලෙස ය.
1 වන ෆ්‍රැන්සිස් නීතිය මෙසේ ය: චරිතය ගොඩ නැඟීම විකල්පයක් නො වේ; අවශ්‍යතාවකි.
25 වන ෆ්‍රැන්සිස් නීතිය මෙසේ ය: පන්තිකාමරයට ඇතුඵ වන විට සහ පිට වන විට, අනික් ශිෂ්‍යයන්ට ඇතුඵ වීම  සඳහා දොර ඇර ගෙන සිටින්නේ දැයි තහවුරු කර ගන්න
 50 වන ෆ්‍රැන්සිස් නීතිය මෙසේ ය: මතක තබා ගන්න. පාසල් දවස අවසානයේ මේ පුද්ගලයන් හුදෙක් ළමයින් බව සිතන්න.
සමහර නීති කියවන විට පැහැදිලි වන්නේ, දැනටමත් සමාජයේ පවතින අදහස්-සංකල්ප පදනම් කර ගෙන ඒවා සකස් කර තිබෙන බවයි.
උදා- 2. මතක තබා ගන්න. රෝමය ගොඩ නැඟුවේ එක් දවසකින් නො වේ.
      21. භූමිකා රංගනය (Role play)  
      23. සිතන්නට දැයක් (Food for thought)
එහෙත් එම කරුණු කර්තෘ විසින් අර්ථනිරූපණය කරනු ලැබ ඇති අයුරු අපට හදුනා ගත හැකි ය. ගුරුවරයකු සතු එක් වගකීමක් වනුයේ මේ නව අර්ථකථනයයි.
පොතේ පසු පිටේ ඇති හැඳින්වීම අනුව, උපායමාර්ග එකිනෙක ක්‍රියාත්මක කිරීමේ දී ගුරුවරයාගේ ඉගැන්වීමට ඇති ආශාව සහ ආත්ම විශ්වාසය සංවර්ධනය වේ. ශිෂ්‍යයන් සමග යා වීමේ හැකියාව ලැබ ගෙන, නිර්ව්‍යාජ සබඳතා ගොඩ නගා ගත හැකි ය.  ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය ප්‍රගතියේ සහ සමස්ත චරිත ලක්ෂණවල සැලකිය යුතු වැඩිදියුණුවක් ද ඇති වේ. 
            ගුරුවරයකු ලෙස ලද අත්දැකීම් පදනම් කර ගෙන, Nigel Francis විසින් සකස් කරනු ලැබ ඇති මේ මාර්ගෝපදේශය වැනි මාර්ගෝපදේශ, ශ්‍රී ලාංකික ගුරුවරුන්ට ද සැකසිය හැකි ය. ඒ සඳහා හැකියාව ඇති, පාසල්වල යහපත් ව්‍යවහාර ගොඩ නැගූ, නිර්මාණශීලි ගුරුවරු පාසල්වල සැඟවී සිටිති. ඔවුන් සතු ශක්තිය සහ දැනුම "නිසල දැනුමක්" (tacit knowledge) ලෙස පවතී. ඒ හෙළිපෙහෙළි කිරීමට මග පෑදීම අප සැම සතු යුතුකමකි;  වගකීමකි. පාසල්වල නිසල දැනුම ද යහපත් ව්‍යවහාර ද පර්යේෂණ සඳහා තෝතැන්නකි. 


No comments:

Post a Comment