Wednesday 27 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (54) ප්‍රතිචලිතතා පර්යේෂණ (Replication research) මගින් පර්යේෂණ ප්‍රතිකෘතකරණය



1.       ගුරු භූමිකාවෙහි සංවර්ධනයට මෙන් ම ඒ සඳහා අවශ්‍ය පදනම සපයන පාසල් අධ්‍යාපන ක්‍රමයේ සංවර්ධනයට ද ඇවැසි යෝජනා පර්යේෂණ පාදක ව ඉදිරිපත් කෙරුණු පොතක් කියවීමි.  එනම් Eric Jensen (2009) ලියූ Teaching with poverty in mind: What being poor does to kids' brains and what schools can do about it. Alexandria, Virginia: ASCD. යන කෘතියයි.
2.       බටහිර රටක දුප්පත්කමට සහ අධ්‍යාපනයට සම්බන්ධ සංකල්ප ද න්‍යාය ද පදනම් කර ගෙන ලියැවුණු නිසා මේ කෘතියේ අදහස්, ශ්‍රී ලංකාවට අදාළ කර ගත යුතු අයුරු හඳුනා ගැනීමට, ප්‍රතිචලිතතා පර්යේෂණ (Replication research)  කළ යුතු ව තිබේ.  ප්‍රතිචලිතතා පර්යේෂණ (Replication research) යනු, විදේශ රටක හෝ තම රටේ ම හෝ පෙර කළ පර්යේෂණයක්,  වෙනත් රටක හෝ තම රටේ ම වෙනත් සන්දර්භයකට කෙතරම් අදාළ දැයි හඳුනා ගැනීමට, නැවත එම  පර්යේෂණය කිරීමයි.  නැවත පර්යේෂණය කරන විට, පෙර පර්යේෂණයේ දී භාවිත කළ පර්යේෂණ ක්‍රමවේදය සහ පර්යේෂණ ක්‍රියාවලිය එසේ ම භාවිත කළ යුතු වුව  ද පර්යේෂණය කෙරෙන රටේ ව්‍යූහාත්මක ලක්ෂණ පදනම් කර ගෙන පර්යේෂණයේ දත්ත රැස් කිරීමේ උපකරණ, සමහර විට, විකරණය (Modify) කළ යුතු ව තිබේ.   හෙවත්  රටේ භාෂාව, සංස්කෘතික වටපිටාව, ජාතිය, ආර්ථික ක්‍රමය වැනි විචල්‍ය පදනම් කර ගෙන පර්යේෂණ උපකරණවල අන්තර්ගතය සුපහන් (Refine) කර ගත යුතු ව තිබේ. දත්ත රැස් කරන නියැදිය හෝ සහභාගි වන්නන් නම් අලුතින් ම තෝරා ගත යුතු අතර එහි දී රටේ ව්‍යූහාත්මක ලක්ෂණ නියෝජනය වන පරිදි නියැදිය තේරීමේ ක්‍රමය ද වෙනස් කර ගත හැකි ය.
3.       එරික් ජෙන්සන් ලියූ කෘතිය නාභිගත වන්නේ ශාස්ත්‍රීය සාධනය සහ පහළ සමාජාර්ථික මට්ටම අතර සම්බන්ධය ගැනයි. ඒ අනුව කරුණු තුනක් අවධාරණය කර ඇත. 
·         දුප්පත්කමට නිරන්තර ව නිරාවරණය වීමෙන්, මොළය කායික විද්‍යාත්මක ව අනර්ථකාරී ලෙස වෙනස් වේ.
·         මොළය සකස් ව ඇත්තේ, ලබන අත්දැකීම් අනුව හැඩ ගැසීමට නිසා, මොළය  වඩා හොඳ තත්ත්වයකට පරිවර්තනය කළ හැකි ය. වෙනත් පදවලින් කිව හොත් දුප්පත් පරිසරවල ළමයින්ට චිත්තවේගීය, සමාජ, සහ ශාස්ත්‍රීය සාර්ථක බව ලැබිය හැකි ය.
·         ශාස්ත්‍රීය සාධනයට බොහෝ සාධක බලපෑවත්, දුප්පත්කම සහිත ව වැඩුණු ළමයින්ගේ පරිවර්තනය සඳහා සමහර කරුණු ප්‍රබල ව වැදගත් වේ (2 වන පිටුව).
4.       සාර්ථක පාසල්, මේ ගැටලුව විසඳීමේ දී සමෝධානය වූ ප්‍රවේශයක් භාවිත කර තිබේ. එහෙත් ජෙන්සන් ස්වකීය කෘතියේ දී, පැහැදිලි කිරීම සහ සරලභාවය සඳහා සමෝධානික ප්‍රවේශය, පාසල් ප්‍රවේශය සහ පන්ති ප්‍රවේශය ලෙස කුලක දෙකකට බෙදා තිබේ. අනතුරු ව ඒ ඒ කුලකයේ කරුණු පහක් බැගින් දක්වා තිබේ.  කරුනු පහ ඇරඹෙන මුල් අකුරු එකතු කර SHARE යන නම ද ප්‍රෙව්ශයට දී තිබේ. ඒ අනුව පාසල් තලයේ සාර්ථක සාධක පම මෙසේ ය.
·         Support of the whole child
·         Hard data
·         Accountability
·         Relationship building
·         Enrichment mind-set
පන්තිකාමර මට්ටමේ සාර්ථක සාධක පහ මෙසේ ය.
·         Standard-based curriculum and instruction
·         Hope building
·         Arts, Athletics, and advanced placement
·         Retooling of the operating system
·         Engaging instruction

5.       කෘතියේ ඇති, ලංකාවට අදාළ කර ගත හැකි තවත් අදහස් දෙකක් මෙසේ ය.
·         පාසල් වයසේ උෘන සාධනය සහිත ඕනෑම ළමයින් කණ්ඩායමක් සමග වැඩ කිරීමේ දී මතකයේ තබා ගත යුතු, වඩාත් තීරණාත්මක සංකල්පය නම් මොළය වෙනස් වන බවත් වෙනස් කළ හැකි බවත් ය. මොළය සැලසුම් වී තිබෙනුවේ වෙනස් වීමට ය. එහෙත් මොළය වෙනස් වන්නේ විවිධාකාරයෙනි. අලුත් භාෂාවක් ඉගෙන ගැනීමේ දී මොළය ක්‍රමානුකූල ව වෙනස් වේ. එසේ ම -ආ ඇත්ත නේන්නම්- ලෙස එක් වර ම වචන පිට වී අවබෝධය ලැබී, ක්ෂණික ව මොළය වෙනස් වන අවස්ථාත් දක්නට ලැබෙන්නේ ය.  පෝෂණය, ව්‍යායාමය, ඉගෙනුම ක්‍රමානුකූල ව ලැබීමෙන් මොළයේ ධනාත්මක වෙනසක් ඇති වේ. දිගු කල් නොසලකා හැරීම, මත්දුව්‍ය ඇබ්බැහිය, පීඩාව නිසා මොළයේ වන වෙනස ඍණ වේ. (47 වන පිටුව).
·         තීරණාත්මක වෙනස සඳහා පූර්ව අවශ්‍යතාව වනුයේ ඔබට ඒ සඳහා ඇති විශ්වාසයයි.  පළමු කොට ඔබ ම වෙනස් වීම සඳහා ඔබට ඇති කැමැත්තයි. ළමයින් ගැටලු (problem) ලෙස නො ව හැකියාව ඇත්තන් (possibility) ලෙස සලකන්න. වෙනස කළ හැකි යයි විශ්වාස කරන්න.මොළය යනු හික්මවිය හැකි දෙයක් බවත් පරිසරයෙන් දෙන දැයට අනුවර්තනය වන්නක් බවත් තේරුම් ගන්න (65 වන පිටුව).

මේ කෘතියේ ඇමරිකා එක්සත් ජනපදයේ දුප්පත්කම ද පහළ සමාජ ආර්ථික තත්ත්වය (low socio economic status) යන අදහස ද අර්ථනිරූපණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාවට එයාකාරයෙන් ම අදාළ නො වේ. එනිසා දුප්පත්කම යන සංකල්පය, ශ්‍රී ලංකාව පදනම් කර ගෙන අර්ථනිරූපණය කිරීම අවශ්‍ය වේ. මොළය ආශ්‍රිත ව කළ පර්යේෂණ සඳහා නම්, මා දන්නා තරමින්, දියුණු ශාස්ත්‍රීය පරිසරයක් ශ්‍රී ලංකාවේ නැත.






No comments:

Post a Comment