Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (42) ගීත පරිවර්තන කලාව සහ පර්යේෂණය


     2015.7.7 වන දින පිටකොටුවේ ගුණසේන පොත්හලට ගොඩ වූ විට "සිංහල අර්ථ සහිත හද බැඳි භාරත ගී" නැමැති සංජය රංගලාල් නිශ්ශංක විසින් රචනා කරනු ලැබූ කෘතිය ඇස ගැටුණි. ඒ වන විට වෙළෙඳ සැලෙහි තිබූ එක ම කෘතිය වහා මිලට ගතිමි. පැරණි හින්දි ගීත 100ක් හින්දි භාෂාවෙන් ද හින්දි ගීවල පද සිංහල පදවලින් ද හින්දි ගී පදවල සිංහල පරිවර්තනවලින් ද සමන්විත කෘතියේ විශේෂත්වය වනුයේ, නවීන තාක්ෂණය පෙරටු කොට ගෙන, ගීත 100 ඇතුළත් කොට, පොත සමඟ MP3 සංයුක්ත තැටියක් ද ලබා දීම ය.
·         පොතේ මිල රුපියල් 800කි. මෙය ඉතා ඉහළ මිලක් යයි කෙනකුට සිතෙන්නට පුඵවන. එහෙත් සරල ගණනය කිරීමකින් මේ මිල විග්‍රහ කර බලමු. ගීත 100ක් අඩංගු නිසා එක ගීයකට යන වියදම රුපියල් 8කි. ගීතයක් හින්දි බසින් ලියා, එය සිංහලෙන් ශ්‍රවණය වන විදියත් ලියා, අනතුරු ව හින්දි බසින් සිංහලයටත් පරිවර්තනය කළ කතුවර සංජය රංගලාල් නිශ්ශංක දැරූ ශාස්ත්‍රීය වෙහෙස ගැන මඳක් සිත යොමු කරන්න. එම වෙහෙස රුපියල් 8කට සීමා කළ හැකි ද? මේ නව පර්යේෂණ ඇසින් පොත දෙස බලන මම සංජයගේ ශාස්ත්‍රීය ව්‍යායාමය අතිශයින් අගය කරන්නට කැමැත්තෙමි.
·         Max Muller පැවසූ වටිනා කියමනක් නම් -He who knows one knows none- යන්නයි. මේ පදනම අනුව මහාචාර්ය සුචරිත ගම්ලත් නිතර පැවසු කරුණක් නම්, එක භාෂාවක් පමණක් දන්නා පුද්ගලයා කිසි ම බසක් හරිහැටි නො දන්නා බව ය. මේ පදනම මත ද සංජයගේ ද්විභාෂා ඥානය අගය කළ යුතු අතර ම, ව්‍යවහාරික ව එම ඥානය භාවිතයෙන්, හින්දි ගීත සිංහල පාඨකයාට හදුන්වා දීමට ගත් තැත ද අගය කළ යුතු ය.
·         ඕනෑ ම කෘතියක ආකෘතියත් අන්තර්ගතයත් සන්ධාර විශ්ලේෂණ පර්යේෂණ ක්‍රමය (Content analysis research) පදනම් කර ගෙන විශ්ලේෂණය කළ හැකි ය. ආකෘතියට ඇතුළත් වනුයේ  පොත සංවිධානය කර ඇති අයුරු ය. එහි දී පොත ලිවීමට භාවිත කර ඇති පදවල සරල-සංකීර්ණ රටා, වාක්‍යවල දිග සහ භාවිත කර ඇති එක් එක් වාක්‍යවල පදවල රිද්මීය ස්වභාවය,ඡේද බෙදා ඇති අයුරු, පිටුවල අන්තර්ගතය සංවිධානය කර ඇති අයුරු, අකුරු ප්‍රමාණය යනාදී කරුණු විශ්ලේෂණය කළ හැකි ය. සංවිධානයට අදාළ ව මා මේ කෘතියේ දුටු ලක්ෂණයක් නම්, පොතේ පිළිගැන්වීම ලියා ඇති රටාව, හින්දි ගීතයකට සමාන වීම ය.
·         අන්තර්ගතය විශ්ලේෂණයේ දී,  පළමු ව, පොත නිර්මාණය සඳහා ලේඛක සතු වූ අරමුණ කුමක්දැයි හඳුනා ගත හැකි ය. මේ සමග ඇති 5-6 රූපවල ඇති පෙරවදනේ ලියා ඇති අදහස්වලින් කර්තෘගේ දර්ශනය හඳුනා ගන්නට ඉඟි කීපයක් ලැබේ.  දෙවනු ව, තෝරා ගෙන පරිවර්තනය ව ඇති හින්දි ගීතවල අන්තර්ගත සංකල්ප මොනවා දැයි හදුනා ගත හැකි ය. ගීත 100න් බහුතරය ප්‍රේම ගීත ය. ඒ හැර අවධාරණය වන දරු නැළවිලි ගී, දේශාභිමානී ගී, ආගමික චින්තා වැනි අනිකුත් තේමා මොනවා දැයි විශ්ලේෂණය කිරීමට හැකි ය.
·         ආකෘති සහ අන්තර්ගත විශ්ලේෂණය පදනම් කර ගෙන හෙළි වන කරුණු අනුව, පර්යේෂකගේ පරිසරයට අවශ්‍ය වන පරිදි අර්ථනිරූපණ ද ගොඩනැගිය හැකි ය. උදාහරණ තුනක් දෙමි.
o   1972 දී තිරගත වූ, ශෝර් චිත්‍රපටයේ ගීතයක පද හතරක් මෙසේ ය (44 වන ගීතය). ලබාගත් දේ අත් හැරී යන්නේය. - අත්හැරුණු දේ යළි ලැබෙන්නේය. - ජීවිතයේ යථාර්ථය වන්නේ, - පැමිණීම සහ නික්මීමයි. (එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ මළගිය ඇත්තෝ නවකතාවේ ද මේ සංකල්පය ඇත්තේ ය. මෙතෙක් මා සිතා සිටියේ මෙය සරච්චන්ද්‍රයන්ගේ නව අදහසක් බවයි. මේ ගීතයේ ද එකී සංකල්පය ඇති නිසා, සංකල්පයට අදාළ ප්‍රාථමික මූලාශ්‍රය, ඉන්දියාවේ පවතී යැයි අනුමාන කළ හැකි ය. ඒ  කුමක් දැයි නිශ්චිත ව සොයා යාමේ ලා පර්යේෂණයක් කරන්නට හැකි ය).
o   43 වන ගීතය, 1960 දී තිරගත වූ ජිස් දේශ් මේ ගංගා බැහැති හෑ(ං) චිත්‍රපටයෙනි. එහි මුල් ම පේළි හතර මෙසේ ය. "දෙතොල් අතරෙහි සත්‍යය රැඳුනා වූ ද- හදවත්වල පවිත්‍ර බව රැඳුණා වූ ද-ගංගා නදිය ගලා යන්නා වූ ද-ඒ දේශයේ වැසියෝ අපි වෙමු." (1. ශ්‍රී ලංකාවේ රූපවාහිනී චැනල නරඹන විට, මහජන නියෝජිතයන් කියන දේ අසත්‍ය බව, ඔවුන්ගේ හදවත් පවිත්‍ර නො වන බව, පක්ෂපාටවලින් මංමුලා ව සිටින මහජනයාට නො තේරෙයි. ඔව්හූ සතුටින් රූපවාහිනී ප්‍රවෘත්ති සහ සාකච්ඡා නරඹති; තම පක්ෂවලට ආවඩති.)

o   51 වන ගීතයේ (ආරාධනා චිත්‍රපටය), "මැටියෙන් තැනූ පහනක් වුව ද - දැල්වුව හොත් එළිය ලැබෙන්නේය." යන පේළි දෙක, පාසල්වල 'මැට්ටන්' යයි කොන් කර ඇති ළමයින් ගැන  ධනාත්මක ව බලන්නට භාවිත කළ හැකි අදහසකින් සරු ය. ශ්‍රී ලංකාවට වැඩි ම ආදායමක් ලබා දෙන්නේ විභාගවලින් ඉහළ ම සාමර්ථ්‍යය ලද්දන්  නො ව, මැදපෙරදිග සේවය කරන සහ ඇඟඵම් කම්මල්වල සේවය කරන විභාග අසමත් වූ 'මැට්ටන්' යයි නිගමනය කිරීමට, දත්ත එකතු කර විශ්ලේෂණය කිරීම ද පර්යේෂණ ව්‍යයාමයකි.  
·         මෙයාකාරයෙන් ගීතයක අන්තර්ගතයෙන් ඉස්මතු වන කරුණු ඔස්සේ, ශ්‍රී ලංකාවට අදාළ සංසිද්ධි විශ්ලේෂණය ද සන්ධාර විශ්ලේෂණ පර්යේෂණයේ පාර්ශ්වයකි.
·         ගීතවලට සම්බන්ධ සංගීත ස්වර ප්‍රස්තාර සහ තනු, භාරතීය රාගධාරි සංගීතය සහ බටහිර සංගීත සම්ප්‍රදායවලින් පෝෂණය ව ඇති අයුරු ද ගායක ගායිකාවන්ගේ ගායනා ශෛලි ද පදමාලාවෙන් මතු වන අදහස් උද්දීපනයට සමත් ව ඇති අයුරු ද සන්ධාර විශ්ලේෂණයට බඳුන් කළ හැකි ය.
·         අවසන් වසයෙන් කිව යුත්තේ හින්දි ගීතවල සන්ධාර විශ්ලේෂණයෙන්, ඉන්දීය ආධ්‍යාත්මය නිරූපණය වන අයුරු හඳුනා ගත හැකි බව ය. 







No comments:

Post a Comment