Thursday 21 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (51) ශ්‍රේෂ්ඨ ගුරුවරයාට එදිරි ව තාක්ෂණය (Teacher vs technology) පරදින අයුරු



(අ) 2018 මැයි මස පළ වූ John D. Couch (ඇපල් සමාගමේ අධ්‍යාපනය පිළිබඳ පළමු වන උප සභාපති), Jason Towne සමග ලියූ  Rewriting education: How technology can unlock every student's potential (අධ්‍යාපනයට නව විදුලි රැහැන් ඇදීම:  තාක්ෂණයට සෑම ශිෂ්‍යයකුගේ ම ශක්‍යතාව මුදාලිය හැක්කේ කෙසේ ද) යන කෘතියේ විශේෂත්වයක් වනුයේ තාක්ෂණයට තිබිය යුතු ස්ථානය, අධ්‍යාපන විද්‍යාත්මක ව කැටි කර තිබීම ය.  කෘතියේ   "Teaching උගැන්වීම" යන 12 වන පරිච්ඡේදයේ සඳහන් පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍ය 6 කියවන්න. ඊට මා කළ දළ සිංහල පරිවර්තනයේ වාක්‍ය 6ත් බලන්න.

p.172
Great teaching cannot be replaced by technology.  The only thing technology can do effectively in a classroom is supplement good teaching. The best technology on the planet doesn't even come close to being able to do the things that great teachers can do...
...The goal of educational technology isn't to teach, but to empower teachers to be more effective and efficient. Even the best - designed artificial intelligence  in the world will never have the one thing possessed by great teachers - heart.

p.173
While technology certainly has the potential to transform both education and students, it takes great teachers to actually unlock it. 

විශිෂ්ට ඉගැන්වීම වෙනුවට,  තාක්ෂණය ආදේශ කළ නො හැකි ය. තාක්ෂණයට පන්තිකාමරයේ ඵලදායි ව කළ හැකි එක ම දේ, හොඳ ඉගැන්වීමකට ඇවැසි  අඩුපාඩු සැකසීමේ උෘනපූරණය  පමණී. විශිෂ්ට ගුරුවරුන්ට කළ හැකි දැයට ආසන්නයටවත් පැමිණ යමක්  කරන්නට පෘථිවියේ ඉතා ම හොඳින් සංවර්ධනය වූ තාක්ෂණයට නො හැකි ය...
...අධ්‍යාපන තාක්ෂණයේ පරමාර්ථය ඉගැන්වීම නො වේ; වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම ගුරුවරුන් වීමට ගුරුවරුන් බලවන්ත කිරීම ය. ලෝකයේ ඉතා ම හොදට සැලසුම් කළ කෘත්‍රීම  බුද්ධියටවත්, ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සතු එක් දැයක් වන -හදවත- කවදාවත් හිමි නො වනු ඇත.
තාක්ෂණයට අධ්‍යාපනය මෙන් ම ශිෂ්‍යයන් ද වෙනස් කළ හැකි ශක්‍යතාව නිශ්චිත ව ම ඇතත් ඒ සඳහා වන දොරඅගුඵ සැබවින් ම විවර කළ යුත්තේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් ම ය. 

(ආ) දැන් අපට ශ්‍රී ලංකාවේ පාසල්වලට තාක්ෂණය හඳුන්වා දීමේ රාමුව ගැන ප්‍රත්‍යවේක්ෂණය කළ හැකි ය. පර්යේෂණ කිරීමට උචිත තේමා ද පර්යේෂණ ක්‍රම ද හඳුනා ගත හැකි ය.

  • තාක්ෂණය පාසල්වල භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක් ද? (ප්‍රතිපත්ති පර්යේෂණයකි)
  • තාක්ෂණය පාසල්වල භාවිතය පිළිබඳ පවතින රටා මොනවා ද? (සමීක්ෂණ පර්යේෂණයකි)
  • සෙල්ෆෝන් භාවිතය පිළිබඳ ව පාසල් සාමාජිකයන් සහ ප්‍රජා සාමාජිකයන් දරණ අදහස්වල රටා මොනවා ද? (සංසිද්ධිවිද්‍යා පර්යේෂණ)
  • පරිගණක භාවිත කරන හා නො කරන ගුරුවරුන්ගේ පාඩම්වල ගුරු නිර්මාණාශීලි බව වෙනස් වන්නේ ද? (සම්පරීක්ෂණ පර්යේෂණ)
  • පරිගණක භාවිත කරන හා නො කරන ගුරුවරුන්ගේ පාඩම් සහ ශිෂ්‍ය ක්‍රියාශීලි බව, අවධානය, පාඩමට සහභාගිත්වය යන විචල්‍ය අතර සහසම්බන්ධයක් වේ ද? (සහසම්බන්ධන පර්යේෂණ)
  • කඵලෑල්ල/පරිගණකය නිර්මාණාත්මක ව භාවිත කරන ගුරුවරකු සතු රටා මොනවා ද? (ප්‍රත්‍යෙක අධ්‍යයන)
  • නව තාක්ෂණික උපකරණ භාවිතයට අවශ්‍ය ඇස-අත-හිස සමායෝජන නිපුණතා ලබා දීමට උචිත ක්‍රියාකාරකම් පළමු වන ශ්‍රේණියේ විෂයමාලාවට ඇතුළත් ද? (සන්ධාර විශ්ලේෂණය)
  • පරිගණකයේ විනිවිදක පටල භාවිතයෙන් පාඩම් උගැන්වීමට අරඹන ගුරුවරයකු, ක්‍රමානුකූල ව එහි දී ලබන තමාගේ ම සංවර්ධනය අභිමන්ත්‍රණය (monitor) කරන්නේ කෙසේ ද? (ක්‍රියාමූලික පර්යේෂණ)
  • 6 වන ශ්‍රේණියට පිවිසෙන ශිෂ්‍ය කණ්ඩායමක්, ටැබ් භාවිතයට වර්ෂය ඇතුළත දී හුරු වන රටා මොනවා ද? (අන්වායාම අධ්‍යයන)
  • විදුහල්පති-ගුරුවරුන්-සේවකයන් පාසල්වෙලාවේ දී මොබයිල් දුරකථන භාවිත කරන ආකාරයේ රටා කෙබඳු ද? (මානවවංශ විවරණ)
  • අපොස (සාපෙ) විභාග ප්‍රතිඵල පැමිණි පසු, ළමයින් අසමත් වුණේ තාක්ෂණය භාවිත නො කළ නිසා යයි අදහසක් කියැවේ. මෙය සත්‍ය ද? (පශ්චාද් සාධක හෙවත් හේතු තුලනාත්මක පර්යේෂණ)

No comments:

Post a Comment