Thursday 21 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (52) පර්යේෂණ ක්‍රියාවලියේ යථාර්ථ රේඛාව






  1. පාඨමාලා අවශ්‍යතා සඳහා පර්යේෂණයක් කරන්නට අරඹන ආධුනිකයකු, ටිකට්පතක් ගෙන ඈත නගරයකට යන්නට පිටකොටුවේ දුම්රිය පොළට පිවිසුණු මගියකුට සමාන ය. ආධුනිකයකුට ස්වකීය පශ්චාද් උපාධිය පිළිබඳ අපේක්ෂාවක් තිබුණත්, පශ්චාද් උපාධියට අවශ්‍ය පර්යේෂණය කරන ආකාරය නිශ්චිත ව අපැහැදිලි ය. දුම්රියපළට පළමු වරට පිවිසි නවක මගියාට කුමන වේදිකාවට පිවිසිය යුතු ද යනු ගැන  දැනුමක් නැත්තා සේ ය. පාඨමාලාවට අදාළ උපදෙස් සංග්‍රහයට සමාන ව, දුම්රිය පොළට පිවිසෙන දොරටු අසල ඉහළින් දුම්රිය වේදිකා පිළිබඳ විස්තර ඇතත්, ඒ අනුව, අදාළ වේදිකාවට විධිමත් ව (පඩිපෙළ හා වේදිකා දිගේ යාම)  හෝ අවිධිමත් ව (අවශ්‍ය ම තැන ආරක්ෂිත ව රේල් පාර පැන යාම) යන්නට තාම මනා හුරුවක් ලැබී නැත.
  2. මේ හුරුව ලද පසු සහ ඒ අනුව දුම්රියට ගොඩ වූ පසු, ආධුනික පර්යේෂකයකු පසු කරන දුම්රිය මාර්ගවල රටා ද, ඔහු යා යුතු පර්යේෂණ මාර්ගය පෙන්වනසුලු ය. කොළඹ කොටුවෙන් පිටත් වූ පසු ද මරදානට ළඟා වී ටික දුරක් යන තුරු ද මගියාට දක්නට ලැබෙනුයේ දුම්රියමාර්ග ජාලාවකි. ඒ අනුව කුමන පාරේ දුම්රිය යන්නේ ද යනු අපැහැදිලි ය. පර්යේෂණයට අදාළ තේමාව සහ දළ මාතෘකාව හඳුනා ගත් පසු, නිශ්චිත ව පර්යේෂණ අරමුණු හෝ පර්යේෂණ ප්‍රශ්න හෝ කල්පිත ගොඩ නගා ගන්නා තෙක්, පර්යේෂක සිටිනුයේ ද මේ අවිනිශ්චිත අවධියේ ය.   පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය පදනම් කර ගෙන නිශ්චිත ව පර්යේෂණ අරමුණු හෝ පර්යේෂණ ප්‍රශ්න හෝ කල්පිත ගොඩ නගා ගත් පසු ද පර්යේෂණ ක්‍රමවේදය ගොඩ නඟා ගත් පසු ද නම් ගමන් මාර්ගය පැහැදිලි වන්නේ ය.  මෙහි දී මුහුණු පොත් ජාලයේ පළ කෙරුණු 1 වන රූපය උපුටා දක්වන්නට කැමති නමුත් දුම්රිය පාර  මා මෙහි දී සමාන කරන්නේ ස්‍ත්‍රී-පුරුෂ මොළවලට නො වේ. පර්යේෂණ ක්‍රියාවලියේ ඉහත අවස්ථා දෙකට, එනම් පර්යේෂණ ක්‍රියාවලියේ පියවරක් වන 'ක්‍රමවිද්‍යාව' හඳුනා ගන්නට පෙර සහ පසු අවධියට  ය. ඒ අනුව 2 හා 3 වන රූප දෙස බලන්න. (3 වන රූපයට මූලාශ්‍රය: The Alaska railroad, lined on either side by pink fireweed wildflowers, George Parks Highway, Alaska Wall Art. From: National Geographic, By: Rich Reid)
  3. පර්යේෂණ ක්‍රමවේදය පරිච්ඡේදය ගොඩ නඟා ගෙන, පර්යේෂණ ගමන් මාර්ගය පැහැදිලි කර ගත්තත් ඉන් පසු ද පර්යේෂක ගමන් කරන මාර්ගය ඍජු හෝ අඛණ්ඩ නො වන්නේ ය. දුම්රියක්, විවිධ තැන්වල, සිග්නල් නැති ව නවත්වන්නා සේ ය. සමහර විට මගියකු දුම්රියට හසු වුණ හොත්-පැන්න හොත් ගමන වැඩිපුර ප්‍රමාද වන්නේ ය.  පර්යේෂකගේ පෙෘද්ගලික පවුල්  පරිසරයෙන් ද රාජකාරි පරිසරයෙන් ද ඇති වන විවිධ බාධක මෙන් ම මනසෙහි ඇති වන උත්තේජනයේ අඩුවැඩි වීම් ද අනුව පර්යේෂණය අවසන් කිරීම දක්වා යන මාර්ගය පහළ බැසීම් හා ඉහළ නැඟීම් සහිත වන්නේ ය (4 වන රූපය). Gerard Guthrie විසින් පෙන්වා දෙනු ලැබ ඇති  'පර්යේෂණයේ යථාර්ථ රේඛාව', පර්යේෂකයකුගේ ගමන් මග අපූරුවට නිරූපණය කරන්නේ ය. 

No comments:

Post a Comment