Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (38) අහම්බය සහ යථාර්ථය



කිසියම් කාර්යයක් ආරම්භ වන අවස්ථාවේ දක්නට ලැබෙන අහම්බ ලක්ෂණවලට සම්බන්ධ පැතිකඩ, අනාගතයේ සැබවින් සිදු වන දැවලට සම්බන්ධ ලක්ෂණවල පැතිකඩ නිරූපණය කරන්නේ ද? අනාවැකි කරන්නේ ද?
මේ අදහස මට ඇති වූයේ  2007 වර්ෂයට අදාළ ඡායාරූපයක් 2017 වර්ෂයේ දී දක්නට ලැබුණු විට ය.  2017 ඔක්තෝබර්  29 වන දින ජාතික අධ්‍යාපන ආයතනයේ දර්ශනපති උපාධියට තෝරා ගත් කණ්ඩායමේ ආරම්භක රැස්වීමේ ඡායාරූපය දෙස බලන්න. ඡායාරූපය සඳහා කණ්ඩායම පෙළ ගැසුණේ අහම්බ ලෙස වන්නට පුඵවන. එහෙත් පශ්චාද් පාඨමාලාවේ කාර්යසාධනය හෙවත් පාඨමාලාව සාර්ථක ව නිම කෙරුමට අවශ්‍ය නිබන්ධය නිම කිරීම සහ දර්ශනපති උපාධිය ලැබීමේ රටාව දෙස බලන විට, මේ පෙළ ගැසීමට සම්බන්ධ අපූරු ලක්ෂණයක්-රටාවක් පසුකාලීන ව ඉස්මතු වන්නට-තහවුරු වන්නට පටන් ගන්නේ ය. 
කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පළමු වරට දර්ශනපති උපාධිය හිමි කර ගත්තේ, ඉදිරිපස පෙළෙහි දකුණු පසින් ම සිටින කෝකිලා ප්‍රියන්ති මහත්මියයි. ඇය, ජාතික අධ්‍යාපන ආයතනයෙන් පිරිනමන උපාධි හෝ ඩිප්ලෝමා නො ලැබූ නමුත් ඒ පදනම රහිත ව පාඨමාලාවට තෝරා ගත් එක ම අපේක්ෂිකාවයි.  දැනට විශ්වවිද්‍යාලයවල පශ්චාද් උපාධිවලට සිසු සිසුවියන් තෝරා ගැනීමේ දී, තම විශ්වවිද්‍යාලයයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුල් තැන දීමේ 'ගෝත්‍රික සම්ප්‍රදායයක්' පවත්වා ගෙන යනු දක්නට ලැබේ.  ඒ සම්ප්‍රදායය අභිබවා කටයුතු කළ යුතු ව තිබෙන බව ද කොකිලා ප්‍රියන්ති මහත්මියගේ ඉදිරි ගමනින් පැහැදිලි වේ.
දෙවනු ව දර්ශනපති උපාධිය හිමි කර ගත්තේ, ඇය අසල ම වම් පසින් සිටින මල්කාන්ති කරුණාරත්න මහත්මිය සහ කොකිලාට පසුපසින් සිටින සුමිත් පරාක්‍රමවංශ මහතා ය. තෙවනු ව,  2018 දී දර්ශනපති උපාධිය හිමි කර ගත්තේ,  මල්කාන්ති ළඟ වම් පසින් සිටින කුමුදිනී පනාගොඩ මහත්මියයි.
පාඨමාලාව ආරම්භ කිරීමට සහ ඇරඹීමට පදනම දැමූ (නිර්මාතෘ යයි පැවසුව ද නිවැරදි ය) ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිහාල් වික්‍රමසිංහ (පිටු පස පේළියේ දකුණු පස ම සිටියි) අසල මේ පිරිස අනුපිළිවෙළින් සිටීම ද ආරම්භක අහම්බයකි.   
පාඨමාලාව සැලසුම් කිරීම සදහා පැවැත්වූ මුල් ම සාකච්ඡා වටවලට සහභාගි වූ මා ද  විභාග අධ්‍යක්ෂ ව සිටි ධර්මකීර්ති මහතා ද ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරිණියක  ද ඡායාරූපයේ පෙනී නොසිටීමත් අහම්බයක් විය හැකි ය.
මේ වැනි 'ආරම්භක අහම්බ රටා' සහ 'පශ්චාද් සත්‍ය රටා' අතර පවතින්නට හැකි සම්බන්ධතා ගැන,  තවත් සමාන්තර උදාහරණ පදනම් කර ගෙන,  පර්යේෂණාත්මක ව සොයා බලා නිගමනයකට ඒම සුදුසු ය.

No comments:

Post a Comment