Thursday 21 June 2018

කැනඩාවේ අත්දැකීම් (64) 2018 ඔන්ටාරියෝ ප්‍රාන්ත මැතිවරණය


.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ගැන ද මතකය රඳවමින්-ප්‍රත්‍යවේක්ෂණය කරමින්, 2018 ජූනි 7 වන දා පැවැත්වූ ඔන්ටාරියෝ ප්‍රාන්ත මැතිවරණය ගැන දුටු-ඇසූ දෑ ලියන්නට සිතුණි.
1. මැතිවරණ දින රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ප්‍රතිඵල නිකුත් කිරීමේ වැඩසටහනේ සාකච්ඡා මණ්ඩපය සහ සාකච්ඡාවේ කොටක් පළමු ව නරඹමු (1 වන රූපය සහ 2 වන වීඩියෝව).




2. තැපෑලෙන් එවූ හෝ නිවෙස්වල දොරේ සවි කොට ගොස් හෝ මහල් ගොඩනැගිල්ලේ පහළ ම ගාලාවේ පිහිටි මේසය උඩ තබා තිබූ හෝ මැතිවරණ ප්‍රචාරක කාඩ්පත්වලට (3-4 වන රූප) අමතර ව, නගරයේ තැන්තැන්වල- බිත්තිවල, ලයිට් කණුවල වැනි විවිධ තැන්වල කඩදාසි පෝස්ටර් අලවා හෝ ලියා අපිරිසුදු කර නො තිබුණි. එහෙත් සමහර ගෙවල් ඉදිරිපිට බිමෙහි සමහර අපේක්ෂකයන්ගේ ප්ලාස්ටික් පුවරු ප්‍රදර්ශනය කර තිබිණි (5-8 වන රූප). නගරයේ වෙළෙඳ සංකීර්ණ අසල ද මංසන්ධිවල ද එවන් පුවරු වැඩිපුර දක්නට ලැබිණි (9-13 වන රූප). පුස්තකාලයක ඉදිරිපස නොමිලේ දෙන විවිධ පත්‍රිකා අතර තිබූ පත්තරයක ද අපේක්ෂකයන් දෙදෙනකුගේ දැන්වීම් විය (14 වන රූපය). මෙවන් ප්‍රචාරක පත්‍රිකා වැඩි වූ තරමට ජය තහවුරු නො වන බව වැඩියෙන් ම දුටු දැන්වීම්වල සිටි අපේක්ෂිකාවකට වඩා අඩුවෙන් දැන්වීම්වල සිටි අපේක්ෂකයකු ජය ගැනීමෙන් පැහැදිලි වේ. එම පැරදුණු අපේක්ෂිකාව මැතිවරණ දින ද ගෙවලට බෙදා හැර තිබූ පත්‍රිකාවක් (15 වන රූපය) කියවා හෝ නො කියනවා, පහළ ම ගාලාවේ පිහිටි කුණු කූඩයට දැමීමෙන් තහවුරු වනුයේ ද ඇයගේ පරාජය ද? මේ කුණු කූඩයේ, විවිධ අපේක්ෂකයන් බෙදා හැරි පත්‍රිකා දිනපතා ම දක්නට ලැබීමෙන් පැහැදිලි වනුයේ, මහජනයා අතර ඡන්දය පිළිබඳ ව එතරම් උනන්දුවක් නැති බවයි (16 වන රූපය). ප්‍රාන්තයේ ඡන්දය දුන් ප්‍රතිශතය 55% නොඉක්මවීමෙන් ද මේ බව පැහැදිලි වේ.













3. අවසන් වරට ඇය බෙදූ පත්‍රිකාවේ තර්කයක් නම් ඇති බව, ඇය පරදවා ජය ගත් අපේක්ෂක ලබා ගත් ඡන්දවලට (15264) වඩා වැඩියෙන් විරුද්ධ අපේක්ෂකයන් ඡන්ද ලබා ගැනීමෙන් (20849) පැහැදිලි වේ (17 වන රූපය). මේ අනුව ජයග්‍රාහකයාට විරුද්ධ වන පිරිස වැඩි ය. 'වැඩි ම ඡන්ද ගත් අපේක්ෂක ජය ගැනීම' යන නිර්ණායකයේ මෙවන් අඩුපාඩු වෙනස් කිරීමේ පරමාර්ථයෙන් නමුත් සමානුපාතික ක්‍රමය විකෘති ක්‍රමයකට හදුන්වා දුන් ශ්‍රී ලංකාව, කැනඩාව විසින් එයාකාරයෙන් ම ආදර්ශයට නො ගනු ඇතැයි සිතමි.
4. මැතිවරණයට පෙර 'යාහූ කැනඩා ප්‍රවෘත්ති' (yahoo Canada News) සේවය, පාඨකයන්ගෙන් විමසූ ප්‍රශ්නයක් මෙසේ ය. "ඔබ අගමැති වසයෙන් තේරී පත් වනු දැකීමට අඩුවෙන් ම කැමැති අපේක්ෂක කවුරුන් ද?" ඒ ප්‍රශ්නයට 11,500 දෙනෙක් ප්‍රතිචාර දී තුබුණහ. මීට අදාළ ප්‍රවෘත්තියේ ම ඊට පෙර පැවැත්වූ Pollara Strategic Insights සහ Innovative Research Group මගින් කළ සමීක්ෂණ දෙකක ද ප්‍රතිඵල ඉදිරිපත් කර තිබිණි. ඒ සමීක්ෂණ ප්‍රතිඵලවලින් ඇගවුණේ, දැනට සිටින අගමැතිනිය පැරදෙන බවත්, තරගයට පැමිණ සිටින අපේක්ෂක පරදවා අනෙක් අපේක්ෂිකාව ජය ගැනීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් ය. මින් පළමුවැන්න හරි ගියත් දෙවැන්න වැරදුණු අදහසක් විය.
5. ඒ සමීක්ෂණවලින් අනාවැකි කරන ලද ප්‍රතිඵලවලට වඩා ආකර්ශනය ඇත්තේ අන්තර්ජාලයේ පළ වූ එම අනාවැකි සහිත ප්‍රවෘත්තියට මහජනයා ලබා දී ඇති ප්‍රතිචාරවල (comments) ය. එක් ප්‍රතිචාරයක් වනුයේ 'The only meaningful poll is on June 7th! එක ම අර්ථවත්ඡන්ද විමසුම ජූනි 7 වන දා පැවැත්වෙනු ඇත' යන්නයි. එයින් ඇඟවෙන්නේ ප්‍රවෘත්ති සේවා සහ සමීක්ෂණ, තමන්ට හිතවත් අපේක්ෂකයන්ට 'කඩේ යන ස්වරූපයක්' ජනනය වන පරිද්දෙන් ජනමත සමීක්ෂණ කරන බව ය. ඇමරිකා එක්සත් ජනපද පසුගිය මැතිවරණයේ දී ද, පැරදුණු අපේක්ෂිකාව ජය ගන්නා බවට චිත්‍රයක් මවන්නට ජනමාධ්‍ය තැත් කර තිබිණි.
6. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු ව මහජනයා දැක්වූ ප්‍රතිචාරවලින් ද පැහැදිලි වන්නේ, මාධ්‍ය විකෘති කළ චිත්‍රයක්, මැතිවරණය සම්බන්ධයෙන් මවන්නට, ප්‍රවෘත්තිවල දී උත්සාහ ගත් බවයි. උදාහරණ තුනක් මෙසේ ය.
a. Great election. The people finally got it right and did not listen to the lying media.
b. WE told you the FAKE NEWS, CBC were LYING about the polls!
c. Shows how fake the media is with their fake polls. They should answer to this and be held accountable. I also think the comments slamming Doug Ford are planted in the comment section. Didn’t work did it!!!!
7. තව පාඨකයකු උපහාසයෙන් පවසා ඇත්තේ එක ම සමීක්ෂණයට ඔහු ව දුරකථනයෙන් සතර වරක් සම්බන්ධ කර ගත් බවත්, එහෙත් තමන්ට ඇත්තේ එක ඡන්දයක් පමණක් බවත් මාධ්‍යයට අවශ්‍ය ප්‍රතිඵලය දීමට හෙවත් 'මාධ්‍යය විසින් කඩේ යන අයට වාසි පිණිස' මේ සමීක්ෂණ කරන බවත් ය.
8. ශ්‍රී ලකාවේ ද මැතිවරණ ළං ව "ජනමත සමීක්ෂණ" පවත්වනුයේ උගතුන් යයි සලකනු ලබන ආචාර්ය මහාචාර්යවරුන් විසිනි ("ජනමත සමීක්ෂණ" යන පදය මා උපුටා දුක්වූයේ ඒවා විද්‍යාත්මක ජනමත සමීක්ෂණ දැයි, පර්යේෂණ ගැන ටිකක් දන්නා, මා නො දන්නා බැවිනි. 2015 මැතිවරණයේ දී පැවැත්වූ "ජනමත සමීක්ෂණයකින්", එම මැතිවරණයේ දී පැරදුණු අපේක්ෂක ජය ගන්නේ යයි 'කඩේ යමින්' කී මහාචාර්යතුමා, මෑතක දී ඔහු පැරදෙනවා යයි කියූ නමුත් ජය ගත් අපේක්ෂක අතින් ඉහළ තනතුරක් ගන්නා "අපූරු කෝලමක්" ද මෑතක දී මාධ්‍යවලින් දුටුවෙමි. මේ පදනම මත ගරුකටයුතු මහාචාර්යතුමාගේ ඉදිරි ජනමත සමීක්ෂණ ප්‍රතිඵලයෙන් අගවන අනාවැකිය දැන් ම අපට කිව හැකි ය.
9. කැනඩාවේ ප්‍රවෘත්තිවල "ඔබ අගමැති වසයෙන් තේරී පත් වනු දැකීමට අඩුවෙන් ම කැමැති අපේක්ෂක කවුරුන් ද?" යන ප්‍රශ්නයට පාඨකයකු ලබා දී තිබූ ප්‍රතිචාරයක් වනුයේ මෙයයි. "ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙලෙස ය... කුමන නායකයා අඩු ම හානිය කරනු ඇත්දැයි ඔබ සිතන්නේ ද? Question should be... which leader do you think will do the LEAST DAMAGE? ". මෙය ශ්‍රී ලංකාවේ ද මැතිවරණයක් ළං ව ඇසිය හැකි ඉතා හොඳ ප්‍රශ්නයකි.
10. ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතර, සජීවි රූපවාහිනී වාදයක් ද මැතිවරණ දිනට පෙර පැවැත්වුණු අතර එය ද නිරීක්ෂණය කළෙමි. අගමැති තනතුරට තරග කළ දැනට සිටින අගමැති කාන්තාව ද තව කාන්තාවක ද සමග පිරිමි අපේක්ෂකයකු අතර වූ විවාදයේ විශේෂ ලක්ෂණයක් වූයේ අගමැති නො වන කාන්තාව අනික් දෙදෙනා කතා කරන අතරතුර අප්‍රසන්න ලෙස බාධා කරමින් උත්තර දෙන්නට යාමයි. මෙය දොසක් බව පවසන පාඨකයකු, එවැන්නයකුට ඡන්දය දෙන්නේ කෙසේ දැයි විමසා ඇත. එම ප්‍රශ්නය ම වැඩි දෙනකු අසා ඇති නිසා දෝ, කාන්තාවට අගමැති වන්න ලැබුණේ නැත. ශ්‍රී ලංකාවේ ද මේ වැනි බාධා කිරීම් ජයට ම කෙරෙයි. එවිට ශ්‍රී ලාංකිකයනුත් මෙසේ ම බුද්ධිමත් ලෙස ප්‍රශ්න අසන්නේ නම්, වැඩි අපේක්ෂකයන් පිරිසක් ඡන්දයට පෙර ම 'මෘදු කුසලතා නැත' යන තර්කයෙන් ගෙවල නතර කළ හැකි ය.
11. මැතිවරණ ප්‍රතිඵල විකාශනය වන අතර, රූපවාහිනියේ පෙන්වූ දර්ශන කීපයක් ද ප්‍රතිඵල තහවුරු වූ පසු පැරදුණු අපේක්ෂිකාවන් කළ කතා දෙකක වීඩියෝ ද දැන් නරඹමු (18-22 වන රූප).








12. මැතිවරණ දිනට පසු දින, මංසන්ධිවල තිබූ ප්ලාස්ටික් දැන්වීම් තවදුරටත් තිබේ දැයි බැලීමට සිත් ඇති විය. පසු දා සවස එතැනට යන විට පැරදුණු අපේක්ෂිකාවගේ දැන්වීම් ඉවත් කර තිබිණි. ඉවත් කළේ කවුරුන්දැයි නො දනිමි. දිනූ අපේක්ෂක දැන්වීම් නම් ඒවන විටත් ප්‍රදර්ශනය විය (23 වන රූපය).

No comments:

Post a Comment