Thursday 21 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (50) එඵවකු සේ කෑ ගසන ළමයින්ගේ අනාගතය ගැනත් සිතමු



Shakira Isabel Mebarak Ripoll හෙවත් කෙටියෙන් Shakira යනු දකුණු ඇමරිකාවේ කොලම්බියා රටෙහි උපන් ගී පද රචිකාවකි; නැටුම් ශිල්පිණියකි; ගායිකාවකි. 2010 ලෝක පාපන්දු කුසලාන තරගයේ දී "Waka Waka (This Time for Africa) " යන  නිල ගීතය නිර්මාණය කර ගයනු ලැබුවේ ඇය විසි නි.  ලොව වැඩියෙන් ම ජනප්‍රිය වූ ලෝක පාපන්දු කුසලාන ගීතය එයයි. ලෝකයේ වැඩියෙන් ම විකිණී-නරඹා ඇති ගීතයක් වන්නේ ද එයයි. මෙවන් අන්තර්ජාතික තලයේ අතිසාර්ථක ගායිකාවක දෙස, පාසල් සමයේ සංගීත ගුරුතුමිය බලා ඇත්තේ කෙලෙස ද?
කුඩා කල Shakira  කතෝලික පාසලක ඉගෙනුම ලැබුවා ය.  2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කල, සංගීත ගුරුතුමිය, ඇය ව  පාසලේ ගීතිකා කණ්ඩායමට බදවා ගැනීම ප්‍රතික්ෂේප කළා ය.  ගුරුතුමිය දැක්වූ හේතුව, ඇයගේ කටහඩෙන් නිකුත් වන කම්පනය ඕනෑවට වඩා ප්‍රබල වීමයි.  ගුරුතුමිය තවදුරටත්  දැරිවියට පවසා ඇත්තේ ඇය "එඵවකු" සේ හඬ නගන බව ය. Shakira ශිෂ්‍යාව අතික්‍රියාශීලි චර්යා (hyperactivity) නිසා, දඬුවම් ලෙස  නිතර ම පන්තියෙන් එළියට ද යවා ඇත. මේ ඍණ යයි සිතන කරුණු දෙක දෙස, ධනාත්මක ව බලන්නටත් ඒ අනුව  පිළියම් යොදන්නටත් පාසල් පරිසරය කටයුතු නො කළ බව පැහැදිලි ය. එහෙත් සමාජය Shakiraගේ ශක්‍යතාව තේරුම් ගත්තේ ය. ඒ නිසා සමාජය අද දන්නේ Shakira ගැන ය. ඇයට ඉගැන්වූ සංගීත ගුරුතුමිය හෝ සංගීත ගුරුතුමිය විසින් දක්ෂ යයි තේරූ ළමයින් ගැන නො වේ. 
ශ්‍රී ලංකාවේ ද ගුරුවරුන් විදුහල්පතිවරුන් නිලධාරින් මෙන් ම දෙමාපියන් ද, සිසුන්ගේ විකල්ප චර්යා  දෙස ඍණ දාෂ්ටියෙන් බලන බවට උදාහරණ ඇත.  මුහුණු පොතේ විවිධ පිටුවල විවිධ පුවත්වලින් ද සමහර විට ඒ ගැන කියැවේ. "අපේ පාසලේ ඉන්නේ තේරිච්ච ළමයින්", "හොඳ ළමයින් නගරෙට යනවා", "දක්ෂ ළමයින් ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියා. අපට ඉතුරු වුණේ මැට්ටො ටික" වැනි ප්‍රකාශ පාසල්වල පුන පුනා ප්‍රකාශ වන අදහස් ය. 
පළාත් -කලාප අතර විභාග ප්‍රතිඵල සංසන්දනය කර තම පළාතේ - කලාපයේ ප්‍රතිඵල හොඳ යයි උදම් අනන අය ද සිටිති. එහෙත් ඒ පළාත්-කලාපවල, විභාග අසමත් වේ යයි සිතා, එනිසා ම පළාතේ ප්‍රතිඵලවලට බලපෑමක් වේ යයි සිතා, විවිධ උපක්‍රමවලින් විභාගයට ඉදිරිපත් නො කරන අසරණ ළමයින්ගේ අයිතිවාසිකම් සහ සිතිවිලි ගැන නම් කවුරුත් කතා කරන්නේවත් පෙනී සිටින්නේවත්  නැත. උචිත ප්‍රතීකාරී පියවර ද ගන්නේ නැත.  එසේ ම විභාග ප්‍රතිඵල නිකුත් වූ වහා ම, හොඳින් සමත් වූ සිසුන් ගැන අයිතිවාසිකම් කීමට බොහෝ අය සිටිති. එහෙත් අසමත් වූ සිසුන් ගැන වගකිව යුතු වන්නේ ළමයින් ම සහ දෙමාපියන් ම පමණී. නිලධාරින්ට අනුව නම් ගුරුවරුන් පමණී. ප්‍රතිඵල නිකුත් වූ පසු පවත්වන රැස්වීම්වල දී, ගුරුවරුන් නැගිට්ටවමින් ප්‍රශ්න නගන නිලධාරිහූ, තමන් පාසල්වල "චාරිකාවේ" යෙදී, අත්සන් කොට ගන්නා දීමනා නිසාවත්, ප්‍රතිඵල ඉහළ නො ගියේ ඇයි දැයි කියා නම්, ප්‍රත්‍යවේක්ෂණය නො කරති.   
මේ ප්‍රවණතා ගැන, මා ද ඇතුළත් ව,  අප එක් එක් අය සතු සීමිත ලෝක දැක්ම අනුව මෙන් ම පටු හැඟීම් අනුව ද තවදුරටත් අදහස් පළ කිරීම උචිත නැත. ඒ සඳහා විවිධ දෘෂ්ටිකෝණ (viewpoints)  හා පර්යාලෝක (perspectives)  අනුව ද පවතින පර්යේෂණ  දැනුම අනුව ද තීරණ ගෙන ක්‍රියාත්මක කළ යුතු ය. ඒ අනුව  පන්තිය සහ පාසල සදහා ද සමස්ත අධ්‍යාපන ක්‍රමය සදහා ද අනාගතය සඳහා ද වඩාත් උචිත සැලසුම් සකස් කිරීමට පදනම සැකසීම සඳහා, ප්‍රතිපත්ති පර්යේෂණ (policy research) කිරීම, ගුරුවරුන් - විදුහල්පතිවරුන් - නිලධාරින් මෙන් ම අප සැමගේ ද  වගකීම වන්නේ ය.  මේ සඳහා නැගිය හැකි ප්‍රශ්න කිහිපයක් මෙසේ ය.
·         ගුරුවරයකුට පන්තියේ දී හමු වන අමුතු ගතිලක්ෂණ/ඉගෙනුම් රටා  සහිත ළමයින් සතු ලක්ෂණ මොනවා ද? (මේ කරුණු උදාහරණ සහිත ව ලිවීම මගින්, ළමයින් ගැන දත්ත එක්රැස් වෙයි.)
·         අමුතු ගතිලක්ෂණ/ඉගෙනුම් රටා  යන ප්‍රතිඵලය සදහා බලපෑ සාධක මොනවා ද?
·         අමුතු ගතිලක්ෂණ, සාමාන්‍ය චර්යා ලක්ෂණවලට පරිවර්තනය කිරීම සඳහා පන්තිකාමර ක්‍රියාවලි වෙනස් කර ගන්නේ කෙසේ ද?
·         නැත හොත් අමුතු ගති ලක්ෂණවලට උචිත ලෙස පන්තිකාමර ක්‍රියාවලි සකස් කර ගන්නේ කෙසේ ද?
·         අමුතු ගති ලක්ෂණවලට උචිත උපදෙස් විෂයමාලා ද්‍රව්‍යවල සපයා ඇත්ද?
·         අමුතු ගති ලක්ෂණ සහිත ළමයින්ට ඉගැන්වීමට අදාළ ගුරු  සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත් ද?
·         අමුතු ගති ලක්ෂණවලට උචිත වූ විසඳුම්, පාසල් නිරීක්ෂණයට එන නිලධාරින්ට තිබේ ද?
·         අමුතු ගති ලක්ෂණ මිනුමට, පවතින විභාග ප්‍රශ්න පත්‍ර ක්‍රමය ප්‍රමාණවත් ද?
·         අමුතු ගති ලක්ෂණ සහිත ළමයින් සම්බන්ධයෙන් විවිධ රටවල පවතින ප්‍රතිපත්ති මොනවා ද?
·         විභාග ප්‍රශ්නපත්‍ර සකස් කරන්නේ විද්‍යාත්මක ව මිනුම් ඇගයුම් මූලධර්ම අනුව ද?   
·         විභාග ප්‍රතිඵල, ශිෂ්‍යයා සහ ගුරුවරයා මනින එක ම නිර්ණායකය විය යුතු ද?


No comments:

Post a Comment