Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (47) සමීක්ෂණ පර්යේෂණකරණය නැමැති හිනිමග



1. පර්යේෂණයක් කිරීමට සංකල්පයක් (concept) (උදා- දුප්පත්කම, පරිකල්පනය, අධීක්ෂණය, අධිප්‍රජානනය, පෙළපොත වැනි සංකල්ප) කෙරෙහි සිත් බැඳුණු පර්යේෂකයකු දෙවැනිවට කළ යුතු වන්නේ සංකල්පයේ විවිධ මාන (dimensions) තේරුම් ගැනීම- සුවිශේෂ ව වෙන් කර ගැනීම සඳහා,  සංකල්පයට සම්බන්ධ ව දැනට පවතින දැනුම අධ්‍යයනයයි. පවතින දැනුමට, පර්යේෂණ සාහිත්‍යය යන පද දෙක පර්යේෂණ ක්‍රමවිද්‍යාවෙහි භාවිත වේ.  අදාළ පර්යේෂණ සාහිත්‍යය කියවමින් ගැඹුරින් විමර්ශනය කළ පසු පර්යේෂකට, තමා තෝරා ගත් සංකල්පයෙහි විවිධ මාන හඳුනා ගන්නට ඉඩ ලැබේ.
2.  මේ සමග ඇති රූපය අනුව, 'දුප්පත්කම' සංකල්පය ලෙස ගත හොත්, එම සංකල්පයට අදාළ ව සාහිත්‍ය විමර්ශනය පදනම් කර ගෙන හඳුනා ගත හැකි වූ මාන හතරක් (ආර්ථික දුප්පත්කම - සමාජ දුප්පත්කම - දේශපාලන දුප්පත්කම - මනෝවිද්‍යාත්මක දුප්පත්කම) වූයේ යයි සිතමු. පර්යේෂක විසින් මේ මාන හතරින් ස්වකීය පර්යේෂණය සඳහා තෝරා ගනු ලැබිය යුත්තේ එක මානයකි. මීට හේතුව කුමක් ද? පර්යේෂණ කිරීමේ දී අප අවධාරණය කළ යුතු වනුයේ සමස්තය ගැන මතුපිටන් කරුණු සොයා බලනු වෙනුවට, තෝරා ගත් සුවිශේෂී කරුණක් ගැන ගැඹුරින් කරුණු හැදැරීමට ය. ගැඹුරින් පර්යේෂණය කිරීම පහසු වීම සඳහා, සමස්ත සංකල්පය ම පර්යේෂණ තේමාව ලෙස නො ගෙන, සංකල්පයේ මාන අතරින් එකක් පමණක් ගැඹුරින් හැදෑරීමට තෝරා ගැනීම අවශ්‍ය වේ.
3. මේ පදනම අනුව පර්යේෂණයට තෝරා ගනු ලැබුවේ  'සමාජ දුප්පත්කම' යන මානය යයි සිතමු. ඉන් පසු පර්යේෂකගේ කාර්යය වනුයේ, විමර්ශනය කළ සාහිත්‍යය පදනම් කර ගෙන ම, සමාජ දුප්පත්කම නැමැති මානයෙහි තවදුරටත් ඇති උපමාන (sub dimensions) මොනවා දැයි හඳුනා ගැනීමයි. ඒ අනුව, සමාජ දුප්පත්කම නැමැති මානයෙහි, උපමාන තුනක් වූයේ යයි සිතමු. හුදෙකලාව කරණ කොට ඇති වූ සමාජ දුප්පත්කම, සමාජය පිළිගත් භූමිකා සතු නොවීම ඇති වූ සමාජ දුප්පත්කම සහ සමාජ කුශලතා සතු නොවීම නිසා ඇති වූ මාජ දුප්පත්කම වසයෙනි.  අධ්‍යාපනපති (M Ed) හෝ ශාස්ත්‍රපති (MA) මට්ටමේ දී මේ උප මාන තුන ම පදනම් කර ගෙන පර්යේෂණ කිරිම උචිත වුවත් දර්ශනපති (M Phil) හෝ දර්ශනසූරි (Ph D) යන උපාධි මට්ටම්වල දී උචිත වනුයේ එක උපමානයක් තෝරා ගෙන ගැඹුරට කරුණු සොයා ගොස් පර්යේෂණයේ නියැළීමයි.
4. 'හුදෙකලාව කරණ කොට ගෙන ඇති වූ සමාජ දුප්පත්කම' යන උපමානය පර්යේෂණයට තොරා ගත්තේ නම්, පර්යේෂණයේ ඊළග පියවර විය යුත්තේ,   හුදෙකලාව කරණ කොට ඇති වූ සමාජ දුප්පත්කම යනු කුමක් දැයි තවදුරටත් නිශ්චිත ව හඳුනා ගැනීමට කාර්යාත්මක නිර්වචන (operational definition)   සොයා යාමයි. මේ අනුව න්‍යෂ්ටික පවුලක් වීම, මව හෝ පියා විදේශයක සිටීම නිසා දරුවා පවුලේ වෙනත් සාමාජිකයකු සමග ජීවත් වීම, මව පියා මිය යාම හෝ දික්කසාද වීම නිසා තනි මාපිය පවුලක් වීම ^single parent family) යන කාර්යාත්මක නිර්වචන අනුව, සමාජ හුදෙකලාව යන උපමානය කුමන රටාවක් ගන්නේ දැයි නිශ්චිත ව හඳුනා ගත හැකි ය. දැන් පර්යේෂණය සදහා නිශ්චිත සුවිශේෂී පදනමක් ඇත. ඒ පදනම අනුව දත්ත රැස් කිරීම සඳහා දත්ත රැස් කිරීමේ පර්යේෂණ උපකරණ සැකසීමට ඊළඟට අවශ්‍ය වනුයේ උපමානයට අදාළ ව ගොඩ නගා ගත්, කාර්යාත්මක නිර්වචන අනුව,  උපමානයේ අංගෝපාංග මැනීම සඳහා අවශ්‍ය දර්ශක (index) මොනවා දැයි නිශ්චිත ව තේරුම් ගෙන-හඳුනා ගෙන  ලියා ගැනීම ය.
5. දර්ශකවලින් නිරූපණය වනුයේ ඉතා ම සුවිශේෂි කර ගත් සංකල්ප ය. තවත් ලෙසකින් කිව හොත් පර්යේෂණවල දී සංකල්ප, මිනුමට බඳුන් කර, දත්ත රැස් කළ නො හැකි ය. එහෙත් දර්ශක මිනුමට බඳුන් කළ හැකි ය. එසේ සංකල්ප මිනුමට බඳුන් කර ගැනීමට නො හැකි වීමටත් දර්ශක මිනුමට බඳුන් කර ගැනීමට හැකි වීමටත් හේතුව වනුයේ මිනිසාගේ 'පසිඳුරන්ට ගෝචර වන ආකාරය' යන නිර්ණායකය නිසා ය. 'පසිඳුරන්ට ගෝචර වනුයේ ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට විඳිය හැකි, දිවට රස විඳිය හැකි සහ ගතට ස්පර්ශ කළ හැකි වන දෑ ය. එනම් වාස්තවික ව, උපකරණයකින්, පුද්ගලබද්ධ බලපෑමෙන් තොර ව, මැන බැලිය හැකි කරුණු පමණි. මේ නිර්ණායකය අනුව සංකල්පයක් මිනුමට බඳුන් කළ නො හැකි ය. එහෙත් දර්ශක මිනුමට බඳුන් කළ හැකි ය.
6. සංකල්ප වෙනුවට, දර්ශක පර්යේෂණයට සහ මිනුමට බඳුන් කිරීම පිළිබඳ ව තවදුරටත් තේරුම් ගැනීම සඳහා, පර්යේෂණයට තෝරා ගත් පවුලක සාමාජිකයකුගෙන් අසන්නට පුඵවන් පහත සදහන් ප්‍රශ්න දෙක ගැන සිතන්න.
ඔබේ පවුලේ සාමාජිකයන් ගණන කොපමණ ද?
ඔබේ පවුලේ සාමාජිකයන් දුප්පත්කමින් පෙළෙනවා ද?    ඔව් .......... නැත.............

මෙයින් පළමු වන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර නිශ්චිත ය. දර්ශකයක් පදනම් කර ගෙන ප්‍රශ්නය අසා ඇති නිසා ය. පවුලේ සාමාජිකයකු එම ප්‍රශ්නයට වැරදි පිළිතුරක් දුන හොත්, එම පවුල වසන ගමේ ග්‍රාමසේවක හෝ අසල්වැසියකුගෙන් කරුණු ගෙන,  වැරැද්ද නිවැරදි කර ගත හැකි ය.  එහෙත් දෙ වන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ලබා දුන්නේ 'දුප්පත්කම' යන සංකල්පය සහිත පදය කෙසේ අර්ථනිරූපණය කර දැයි තේරුම් ගන්නට නුපුඵවන. ඒ අනුව දුම්රියේ සිඟා කන, දුප්පත් යයි අපට පෙපෙන මිනිසා, උදේ ද සවස ද සිඟමන නැමැති රැකියාවට ඇරලවන්නේ, සහ රැකියාවෙන් පසු ආපසු රැගෙන යන්නේ සිඟන්නාට ම අයත් වාහනයක් පදවන, සිඟන්නාගෙන් ම පඩි ලබන රියදුරකු විසින් යයි  සිතමු (සත්‍ය සිද්ධියක් ඇසුරිණි). වාහන නැතිකම යන දුප්පත්කම නිසා දිනපතා සිට ගෙන දුම්රියේ යන මිනිස්සු වුවත්, තමන්ට වඩා දුප්පත් යයි සිතා, එසේ හොර රහසේ වාහනයෙන් පැමිණ සිඟා කන පෝසතාට, මුදල් පරිත්‍යාග කරති. මේ අනුව දුප්පත්කම යන සංකල්පය නිශ්චිත ව මැන බැලිය නො හැකි පදයක් නිසා පර්යේෂණවල දී මිනුමට බඳුන් කිරීම අපහසු ය. එනිසා ම සංකල්පය, දර්ශක දක්වා සුවිශේෂ කර ගැනීම පර්යේෂක සතු අත්‍යවශ්‍ය භූමිකාවක් වේ.  
 

No comments:

Post a Comment