Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (45) ඔටුවා



අබුඩාබි ගුවන්තොටුපළෙහි, ඩියුටි ෆ්‍රී අංශය පසු කර, මගී පර්යන්ත වෙත පිවිසෙන්නට ඇති හන්දියට පිවිසෙන විට, ඔටුවකුගේ පිළිමයක් ඉදි කර ඇති බව දක්නට ලැබේ. මගී පර්යන්ත වෙත යොමු වන සේ සිරුර තබා ගෙන සිටියත්, ඔටුවා මඳක් හිස හරවා බලා සිටින්නේ ඩියුටි ෆ්‍රී අංශය දෙස ය. මේ ඔටුවා ගැන, දෘෂ්ටි කොණ තුනකින් නිරීක්ෂණ/විග්‍රහ කරන්නට පුඵවන. ඔටුවාගේ ම දාෂ්ටිකෝණය, නිර්මාණ ශිල්පියාගේ දෘෂ්ටි කෝණය සහ ඔටුවා දකින මගීන්ගේ දෘෂ්ටිකෝණය ලෙස ය. මේ සදහා සංසිද්ධිවිද්‍යාව (Phenomenology)  සහ මානවක්‍රමවිද්‍යව (Ethnomethodology) යන පර්යේෂණ ක්‍රමවල ආභාෂය ගත හැකි ය.
ඔටුවාගේ දාෂ්ටිකෝණය- ඔටුවාට අදහස් පළ කළ නො හැකි නිසා, ඒ අදහස් ගැන දැන ගන්නට, වෙනත් අයගේ සිතුවිලි ධාරා සොයා බලන්නට සිදු වනු ඇත. උදාහරණ ලෙස ඔටුවා මෙසේ නිරූපණය කළේ මන්දැයි නිශ්චිත ව දන්නේ පිළිමයේ නිර්මාණ ශිල්පියා ය. නැත හොත් නිර්මාණ ශිල්පි කණ්ඩායම ය. ඒ නිසා ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය වේ.
ඔටුවා දකින මගීන්ගේ දෘෂ්ටිකෝණය- සමහර මගීහු ඔටුවකු සිටින බවවත් - ඔටුවා දුටු බවවත් නො සලකා ගමන් කරති. ඔවුන්ගේ අරමුණ, ස්වකීය ගමන මිස, යා යුතු තැන මිස, අතරමග හමු වන දේ -දකින දේ නො වේ.  සමහරු ඔටුවා දෙස බලමින් ද විවිධ මුහුණු ඉරියව් පළ කරමින් (හැඟීමක් ඇති නො වූ බව පළ කරන -මඳ සිනාවක් පළ කරන-මඳ කල්පනාවකට යොමු වන ලෙස ද දිගට ම ගමන් කරති. මහතුන් දෙදෙනකුගෙන් කෙනකු ඔටුවා පිට සිනහ මුහුණින් හිඳ ගත් විට අනෙක් තැනැත්තා ඡායාරූපයක් ගත් අවස්ථාවක් ද නිරීක්ෂණය කළෙමි. එවිට එසේ ඡායාරූප ගත හැකි බවට මට ද අවබෝධයක් ඇති විය.  ඔටුවා ඉදිරිපිට හෝ පසෙක සිට ගෙන අන් අය ලවා  ඡායාරූප ගත් අවස්ථා ද පැවතිණි.
ඔටුවා දකින මගේ දෘෂ්ටිකෝණය- ඔටුවාගේ මුහුණෙහි ඉරියව්වලින් පෙනෙන්නේ ශෝකාකූල බවක් දැයි නො දනිමි. රටින් පිට ව යන්නට තිබෙන මගී පර්යන්ත වෙත නො බලා රටට ඇතුඵ වන ඩියුටි ෆ්‍රී වෙළෙඳසැල් දෙස බලන්නේ, මා රට හැර දා නො යන බව කියන්නට ද? නැති නම් අතීතයේ මා ජීවත් වූ මගේ මව් රටේ ම සිටීමට මා කැමති බව කියන්නට ද? අතීතයේ ගමන් බිමන් යාමට උදව් වූ මා ගැන දැන් කවුරුත් බලන්නේ නෑ නේ ද? මට වඩා ගුවන් යානය බලවත් වෙලා නේ ද? වැනි ප්‍රශ්න ද ඔටුවාට ඇති ව ඇතැයි සිතමි.
වෙනත් රටවල කෙරෙන්නාක් මෙන්, අබුඩාබි ගුවන් තොටුපළෙහි, රටේ නායකයකුගේ පිළිමයක් ඉදි නො කළේ ඇයි යනු ද මට ඇති වූ සිතිවිල්ලකි. නායකයකුගේ පිළිරුවක් වෙනුවට, ඔටුවකුගේ පිළිමයක් නෙඵවේ මන්දැයි ඇසිය යුත්තේ ගුවන් තොටුපළ සැලසුම් කළ ශිල්පීන්ගෙනි. ඒ සඳහා අදහස රටේ නායකයාට සන්නිවේදනය කළ ආකාරයත් දැන ගැනීම වැදගත් ය. අතිවිශාල ගුවන් තොටුපළක, තම රූපය ඇතුළත්  පිළිමයක් වෙනුවට, ඔටුවකුගේ පිළිමයක් නෙළීම ගැන පාලකයාට ඇති වූ හැඟීම් ගැන  නම් විමසිය යුත්තේ එවකට සිටි පාලකයාගෙන් ම ය. සමහර විට පාලකයන් වෙනුවට, ඔටුවන් කළ සේවය වැඩි නිසා මේ තීරණය ගත්තා වන්නටත් පුඵවන.  










No comments:

Post a Comment