Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (44) අබුඩාබි ගුවන් තොටුපළ පිළිබඳ නිරීක්ෂණ, ප්‍රත්‍යවේක්ෂණ සහ ඉදිරි පර්යේෂණ සඳහා ප්‍රශ්න



2018 මාර්තු 18 වන දින, කොළඹ කටුනායක ගුවන් තොටුපළෙහි සිට කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපොළ වෙත යන ගමනේ අතරමැදි නවාතැන වූයේ අබුඩාබි ගුවන් තොටුපළයි. ගුවන් යානාවෙන් බැස, තොටුපළෙහි පිහිටි ටොරොන්ටෝ දක්වා යන ගුවන් යානය පිහිටි පර්යන්තයට යන්නට පටන් ගතිමි. ගුවන් යානාවෙන් එළියට පැමිණ කොරිඩෝව දිගේ යන්නට ඇරඹි වහා ම වම්පස බිත්තියේ සුදු පැහැති කොටුවක දක්නට ලැබුණේ  "අබුඩාබියට සාදරයෙන් පිළිගනිමු" යන වාක්‍යය අරාබි සහ ඉංග්‍රිසි භාෂාවලිනි  (1 වන රූපය).  මේ වැකි දෙක සමඟ, ඔටුවන් දෙදෙනකු මගීන් යන දෙසට ම ගමන් ගන්නා අයුරු ද චිත්‍ර ලෙස කුඩාවට ඇඳ තිබුණි. මිනිසකු නැඟ සිටියේ මුලින් ම යන ඔටුවා පිටෙහි පමණී. අනෙක් ඔටුවා පිටෙහි මිනිසකු සිටින අයුරු නිරූපණය නො කළේ මන්දැයි නො දනිමි.  ඔටුවන් දෙදෙනා ගමන් කරන පාර, උඩට විහිදුණු කඩ ඉරකින් වෙන් ව බාධකයක් සහිත ව  ඇන්ඳේ ඇයි දැයි යනු ද නො දනිමි. ගමන දුෂ්කර බව අඟවන්නට විය හැකි ය  මේ කරුණු  ගැන නිශ්චිත ව දැන ගන්නට නම් චිත්‍ර ශිල්පියා සමඟ සම්මුඛ සාකච්ඡා කළ යුතු ව තිබේ.
2 වන රූපයේ සිටිනුයේ අබුඩාබි පාලකයා හෝ රජු විය හැකි ය. ඒ සමඟ ම ඇති 3 වන චිත්‍රයේ පිරිමින්  10 දෙනකු යාඥා කරන අයුරු දැක්වේ. ඒ රූපයෙන් මට මතු වූ ගැටලුවක් වනුයේ  මුලින් ම සිටින පුද්ගලයා අන් අය මෙන් ඔඵව වසා ගෙන නොසිටින්නේ ඇයි? යන්නයි.  කාන්තාවන් දක්නට නැත්තේ අරාබි සංස්කෘතිය අනුව විය හැකි යයි අනුමාන කරමි.  තෙ වන රූපයේ සිටින පිරිමින් දෙදෙනා, කූඩාරමක බිම වාඩි වී, කොළවල ලියන්නේ කුමක් දැයි යන්න ද අපැහැදිලි ය.
4 වන රූපයේ ද සිටින දෙදෙනා සාකච්ඡාවක නිරත වෙයි.  ඉඳි ගස් දෙකක් ද පාරක් අඟවන රේඛාවක් ද එහි දක්නට ලැබේ. මේ රූපයෙන් මතු වන ගැටලුවක් වනුයේ පිරිමි දෙදෙනාගෙන් කෙනකු සුදු තලප්පාවක් පැළඳ සිටින අතර අනෙකා කොටු කොටු සහිත තලප්පාවක් පැළඳ සිටින්නේ ඇයි ද යනු ය. ඒ ගැන ද මා පෙර මතු කළ සහ ඉදිරියට මතු කරන ගැටලු ගැන ද නිශ්චිත වූ නිවැරදි  දත්ත ලබා ගන්නට නම් චිත්‍ර ශිල්පියා සමඟ සම්මුඛ සාකච්ඡා කළ යුතු ව තිබේ. නැති නම් අබුඩාබිය ගැන දන්නා  වියතකුගෙන් විමසිය යුතු ව තිබේ.
ඊළඟට මේ රූප හතර ම සහිත වීඩියෝ පටයක් ඔබට පෙන්වන්නට කැමැත්තෙමි.
කුඩා ළමයකු සමඟ සංගීත බාණ්ඩයක් වාදනය කරන වැඩිහිටියකු සහ තවත් වැඩිහිටියන් සිටින චිත්‍රයක් ද (5 වන රූපය) රාජාලියකු දෙස බලන අරාබි ජාතිකයන් හතර දෙනකුගේ චිත්‍රයක් ද (6 වන රූපය) ඊළඟට දිස්වේ.  කාන්තාර පොළොව දෙස බලමින් එය මත යමක් අඳින අරාබි ජාතිකයකු    විශාල ප්‍රමාණයේ රාජාලියකු සමඟ සිනහ සෙමින් අන්තර්ක්‍රියා කරන අප මුලින් ම දුටු ඡායාරූපයේ සිටි අරාබි ජාතිකයා (හෙවත් රටේ නායකයා විය හැකි ය)  ද ඊළඟ රූප දෙකෙහි දක්නට ලැබේ (7-8වන රූප) .
අනතුරු ව දක්නට ඇති පහන සහ  "A NATION WITHOUT A PAST  IS A NATION WITHOUT  A PRESENT OR FUTURE" (අතීතයක් රහිත ජාතියක්, වර්තමානයක් හෝ අනාගතයක් රහිත ජාතියකි) යන අරාබි සහ ඉංග්‍රිසි බස්වලින් දැක්වෙන වාක්‍යයෙන් මෙතෙක් නිරූපණය කළ ඡායාරූපවලින් කියන්නට අදහස් කළ දේ ගැන ඉඟියක් මට මතු විය. ඒ මෙසේ ය.
"අතීතයේ රට ඉඳි, ඔටුවන්, රාජාලියන් සමඟ ජීවත් වූ අප සැලසුම්  කරනුයේ අනාගතය ගොඩ නඟා ගන්නට ය. අපි අද දියුණු වුවත්, අතීතයේ අපට උදව් උපකාර කළ ඔටුවන්, රාජාලියන් සහ රට ඉඳි ගස් අමතක නොකරමු."
එහෙත් මේ සැබෑ අර්ථය දැයි දැන ගැනීමට තවදුරටත් කරුණු සොයා බැලිය යුතු ය; දත්ත රැස් කළ යුතු ය.
මේ පළල් දෘෂ්ටියෙන් අබුඩාබියෙහි ගොඩ නැගූ නවීන රටා සහිත රූප හතරක් ඊළගට නරඹන්නට ලැබේ. ඒ රූපවලට ගෝල්ෆ් පිටියක් ද ජල ක්‍රීඩා කළ හැකි තටාකයක් ද දක්නට ලැබේ. අබුඩාබියට උරුම කාන්තාරය පාදක කර ගෙන සංවර්ධනය කරන ලද සවාරියක් ද ඒ අතර වේ. මේ දක්වා කාන්තා රුවක් නොපෙන්වුවත්, මේ රූප අතර බටහිර පන්නයට හුරු කාන්තාවන් දෙදෙනකු සංවර ලෙස ජල ක්‍රිඩාවේ නිරත වන අයුරු නරඹන්නට ලැබේ. අරාබි ජාතික කතක් තව ම නො පෙන්වා, බටහිර පන්නයේ කතුන් පළමු ව පෙන්වීමේ අරුත කුමක් ද?
ගමන් කරන කොරිඩෝවෙහි හැරෙන තැනකට පෙර, නැවතත් ඇති "අබුඩාබි වෙත සාදරයෙන් පිළිගනිමු" යන ප්‍රකාශය සහිත පුවරුවට පසු, නව කොරිඩෝවෙහි ඇත්තේ පල්ලියක රූපයකි. මේ අනුව පැහැදිලි වූයේ මුලින් ම ආගම පෙන්වනු වෙනුවට, රට ගැන කියා ආගම දෙවනු ව පෙන්වා ඇති බවයි. ආගමින්  අනවශ්‍ය ලෙස විවිධ ක්‍රියාකාරකම්වලට වැට බැඳි රටක් නො වන බවක් මින් ඇඟවේ  ද?















අනතුරු ව බලකොටුවක රූපයක් දක්නට ඇති අතර, ප්‍රථම වරට අරාබි ඇඳුමින් සැරසුණු කාන්තාවන් සහ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු කාන්තාවන් ද ගැවසෙන විශාල වෙළෙඳ සැලක ඡායාරුවක් දක්නට ලැබේ.  

No comments:

Post a Comment