Sunday 24 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (53) උපදේශකගේ භූමිකාවට එදිරි ව පර්යේෂකගේ භූමිකාව



  1. මයිකල් ජැක්සන් සහ ලයනල් රිචී විසින් 1985 දී නිර්මාණය කර ගයනු ලැබූ, ක්වින්සි ජෝන්ස් විසින් නිෂ්පාදනය කරන ලද, We are the world යන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ගීතය,  හයිටි රටේ ස්වාභාවික ආපදාවලින් විපතට පත් ජනයාට ආධාර පිණිස 2010 වර්ෂයේ දී නැවත නව නිර්මාණයක් සේ ගැයුණු අයුරුත් එයට ගායක-ගායිකා කණ්ඩායමක් විසින් දායකත්වය දෙනු ලැබූ අයුරුත් නරඹන්න. කණ්ඩායමේ සියලු දෙනා ම ගයන්නේ එක ගීතයකි. ඒ නිසා ගීතයේ සමස්ත අරමුණ ද ස්වර රටා ද තාලය ද  රැක ගෙන ගයන්නට සියලු දෙනා බැඳී සිටිති. එහෙත් ගීතයේ අපූරු ලක්ෂණය වන්නේ එක් එක් ගායකයා හෝ ගායිකාව ස්වකීය ගායන ශෛලිය රැක ගෙන තමන්ට හුරු කට හඬේ පහත්-උස් ස්වර ද රැක  ගෙන, ගීතයේ අනන්‍යතාවට හානි නො වන අයුරින්  ගායනයට සම්බන්ධ වීමයි. මීට අමතර ව ගායක ගායිකාවන්ගේ මුහුණුවල ගායන ඉරියව් ද මයික්‍රෙෆෝනයට ළං -ඈත් වන අයුරු ද ගැයුමේ දී මුහුණු සහ ශාරිරික ඉරියව් පවත්වන අයුරු ද එකිනෙකාට වෙනස් ය. ඇඳුම පැළඳුම ද එකිනෙකාට ආවේණික වූ  වෙනස් රටා සහිත ය.  
තව ලෙසකින් අර්ථනිරූපණය කර කිව හොත්, ගීතයේ නිර්මාතෘවරුන්, විවිධ ගායකයන්ගේ විවිධ රටා ඒකාග්‍ර කර ගෙන, එක් වැදගත් පණිවිඩයක් ජනනය කිරීම සඳහා ගීතයක් නිර්මාණය කර ඇත.

  1. පර්යේෂණකරණයේ දී ද, පර්යේෂකයන් හැසිරෙන්නේ හෙවත් පර්යේෂණ භූමිකාව ඉටු කරන්නේ තම තමන්ට අයත් ශෛලිය අනුව ය. එහෙත් එහි දී පර්යේෂණ ක්‍රමවිද්‍යාෙවහි මූලිකාංග කඩ නො වන ආකාරයට, ස්වකීය පර්යේෂණ භූමිකාව ඉටු කළ යුතු ය. ගීතයේ සමස්ත අරමුණට ද ස්වර රටාවලට ද තාලයට ද  රිද්මයට ද හානි නො වන සේ, විවිධ ශෛලිවලින් ඒ ඒ ගායකයා-ගායිකාව ගයමින් ගායනයට සම්බන්ධ වන්නා සේ ය.
  2.  ගීතයේ 3.50වන කාලය ඇරඹෙන විට, ෂෙලින් ඩියොන් යන ප්‍රසිද්ධ ගායිකාව උච්ච ස්වරයෙන් ගයන අයුරු ද සංගීත කණ්ඩායම මෙහෙයවන්නා ඇයට මග  පෙන්වන අයුරු ද නිරීක්ෂණය කරන්න. උපදේශකගේ සිතේ ගීතයේ රිද්මය කෙතරම් රුඳී තිබුණත්, ඒ අනුව කෙතරම් හොඳින් ගායිකාවට මග පෙන්වුවත්, නිසි ස්වර රටා රැක ගෙන,  ගීතය නිවැරදි ව ගායනා කිරීමෙහි වගකීම ඇත්තේ ගායිකාවට ය. ඒ සදහා කැප වී පුරුදු පුහුණු වීම ගායිකාවගේ කාර්යයයි.  මෙයාකාරයෙන් පර්යේෂණ උපදේශකගේ සිතේ ඇති පර්යේෂණ ඉලක්කය සහ ඉහළ ම පර්යේෂණ රාමුව සාක්ෂාත් කර ගැනීමේ ලා උපරිම ව කැප වී පර්යේෂණයේ නියැළීමෙහි වගකීම ඇත්තේ ද පර්යේෂකට ය. ඒ පදනම මත පර්යේෂණය කළ යුතු වන්නේ මෙසේ යයි මග පෙන්වන්නකුට-උපදේශකට,  උපදෙස් දෙන්නට හැකි නමුත් සැබවින් ම පර්යේෂණය කළ යුතු වන්නේ ගායකයා හෝ ගායිකාව නැමැති පර්යේෂක ම ය.  

No comments:

Post a Comment