Friday 13 July 2018

කැනඩාවේ අත්දැකීම් (75) කනිෂ්ඨ බාලාංශ පන්තියට පිවිසීමට පෙරහුරුව

1.       කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නව පාසල් වාරය ඇරඹෙනුයේ සැප්තැම්බර්  මස ය. ශ්‍රී ලංකාවේ මෙන් ජනවාරි මස නො වේ. ඒ අනුව 2018 සැප්තැම්බර් මස කනිෂ්ඨ බාලාංශ පන්තියට  (Junior Kindergarten) ඇතුළත් වීමට සිටින දරුවන්, නිවසට ආසන්න පාසලක ලියාපදිංචි කිරීම යෙදී තිබුණේ පෙබරවාරි මසට ය.    බව සඳහන් පත්‍රිකා  පුස්තකාල වැනි ස්ථානවල තබා තිබිණි (1-2  වන රූප) . 
2.       කනිෂ්ඨ බාලාංශ පන්තියට  ලියාපදිංචි වූ දින දරුවන් වෙත සහ දෙමාපියන් වෙත ලබා දුන් ලිපිගොනුවේ, පිටකවර නිර්මාණයෙහි (3 වන රූපය)  නිරීක්ෂණය කළ හැකි විශේෂ ලක්ෂණ, මගේ සිතිවිලි අනුව මෙසේ ය.
·           බාලාංශයේ දරුවන්ගේ නිර්මාණ රටා අවධාරණය වන ලෙස පිටකවරය සකස් වීම
·           ඉගෙනීමට පන්තියට එන ළමයා සතු විය යුතු නිදහස් ශෛලිය නිරූපණය කරන ළමයකුගේ චිත්‍රයක් ද පිටකවරයේ තිබීම
·           ළමයින් දෙදෙනකුගේ මිත්‍රත්වය හඟවන චිත්‍රයක්, පිටකවරයේ දෙපොළක වර්ණ දෙකකින් දැක්වීමෙන්, සමගිය මෙන් ම විවිධත්වය ද ඉඟි ලෙස පෙන්වා, ඒ ලක්ෂණ බාලාංශයට පිවිසෙන දරුවන්ටත් හුරු කිරීමට පණිවිඩයක් දීම
·           ළමයාට ආසන්න පරිසරයේ වැවෙන පැළ ද වටපිටාවේ ජීවත් වන බල්ලා-පූසා ද විශේෂයෙන් නිවසින් බාහිර තැනකට ගොස් නැරඹිය හැකි ඉබ්බා ද නිරූපණය කරන චිත්‍ර ඇතුළත් කර, නිරීක්ෂණ ලෝකය ටිකින් ටික පළල් කිරීමට පදනමක් දමා තිබීම
·           පොළොවේ ධාවනය වන කාරයක ද අහසේ පියාඹන කුරුල්ලකුගේ ද ගුවනේ ගමන් කරන ගුවන් යානයක ද පෘථිවියේ දළ රූප දෙකක් ද මගින් අප සිටින ලෝකය  ගැන දළ අදහසක් සිතට දෙන්නට මග පාදා තිබීම
·           අකුරු භාවිතයට පදනමක් ලෙස a b c යන අකුරු තුන ද ළමයාගේ හිස පළදනාවේ නම ද අදාළ කර ගැනීම
·           චිත්‍රවල මෙන් ම, ලිපිගොනුවේ කවර මාතෘකාවේ අකුරුවල ද විවිධ වර්ණ තිබීම මගින් කලාත්මක දසුන් මෙන් ම වර්ණ සංකල්න අදහස් ද ලබා දීම
·           බාලාංශයේ දී "සිනහවකින් අරඹන්න: ක්‍රීඩා කරන්න, මවිත වන්න සහ ඉගෙන ගන්න" යන මාතෘකාවේ කරුණු තුනින්, බාලාංශයේ අරමුණු කැටි කර තිබීම   
3.       ලිපිගොනුවේ ඇතුළත පිටු දෙක වෙන් ව ඇත්තේ "පිළිගැනීම-සුභ පැතීම" සඳහා විවිධ භාෂාවල භාවිත වන පද දැක්වීමටයි (4 වන රූපය).  "ආයුබෝවන්" යන සිංහල පදය ස්ථාන 5ක දක්වා ඇත. ඉගැන්වීමේ මාධ්‍ය ඉංග්‍රිසි හෝ ප්‍රංශ වුණත්, විවිධ රටවලින් පැමිණි, විවිධ පසුබිම් ඇති  ළමයින්ගේ මව්භාෂා භාවිතය උනන්දු කිරීම අධ්‍යාපන ක්‍රමයේ ද කැනඩා ප්‍රතිපත්තියේ ද විශේෂ ලක්ෂණයකි.  
4.       ලිපි ගොනුවේ ඇතුළත පිටු 22ක් සහිත පොතකි. එහි පිටකවරය ද ලිපි ගොනුවේ පිටකවරයට සමාන ය. එහෙත් ළමයාගේ රූපය වෙනස් ය (5 වන රූපය). ළමයින් දෙදෙනා සසඳා, විවිධත්වයට දී ඇති ඉඩ ගැන ප්‍රත්‍යවේක්ෂණය ඔබට භාර කරමි. පොතේ ඇත්තේ දෙමාපියන්ට අදහස් ය (6 වන රූපය). පිටු තුනක, ළමයින් සමග කළ හැකි සරල ක්‍රියාකාරකම් තුනක් ඇත (7 වන රූපය).  (අකුරු ලිවීම නැමැති, සාක්ෂරතා සංකල්පයේ පටු සීමාවක සිර ව ඇති ශ්‍රී ලාංකික පෙර පාසලට ප්‍රයෝජනයට ගැනීම සදහා මේ කෘතිය පරිවර්තනය කරන්නේ නම් මැනවි). 
5.       පොතට අමතර ව තිබූ පත්‍රිකාවලින්, මැයි 24 වන දා පෙරහුරු රැස්වීමක් පැවැත්වෙන බවට වූ දැන්වීමක් ද විය (8 වන රූපය). ඊට අමතර ව ළමයින්ගේ මූලික දත්ත විමසන ප්‍රශ්නාවලියක්, පාසලට යාම සදහා වූ ප්‍රවාහන පහසුකම් සැපයීම ගැන විස්තර පත්‍රිකා සහ බාලාංශ පන්ති අධ්‍යාපනය ගැන හැඳින්වීමක් ද විය.
6.       පාසලට ඇතුළත් වීමට නියමිත ළමයින්ට සහ දෙමාපියන්ට පෙරහුරු රැස්වීමක් 2018 මැයි මස 24 වන දින සවස 6.00-7.00 අතර පැවැත්විණි (9 වන රූපය). දෙමාපියන්ගේ දෛනික රාජකාරිවලට බාධා නො වන පරිදි රැස්වීම සවස පවත්වන බව පැහැදිලි ය. විදුහල්පතිගේ සහායයෙන්. ගුරුතුමියන් විසින් විනිවිදක පටල  ඇසුරින් මුලික හැදින්වීමක් කරන ලදී.  ඒ හැඳින්වීම  අනුව, පන්තියට එන විට, ශිෂ්‍යයා තම නමේ අකුරු ලියන්නට හුරු ව පැමිණිය හොත් හොද ය.  පිළිවෙළට හිඳ ගන්නා අයුරු ද නිවසින් පුරුදු කර එව්ව හොත් මැනවි.
7.       ඉන් පසු ශිෂ්‍යශිෂ්‍යාවන් ව කින්ඩර්ගාර්ටන් පන්තිවලට ගෙන ගොස් එහි ක්‍රියාකාරකම් බලන්නට-නියැළෙන්නට ඉඩ සලසන ලදී.
8.       අවසන නිවාස කරා යන්නට පාසලින් පිට වන විට ශිෂ්‍යයන්ට තෑගි මල්ලක් දෙන ලදී (10 වන රූපය). එහි ශිෂ්‍යයන් සඳහා උපාංග  6ක් (11, 12 වන රූප)  සහ දෙමාපියන් සඳහා විවිධ උපදෙස් පත්‍රිකා ඇතුළත් විය (13 වන රූපය). ශිෂ්‍යයන් සදහා වූ උපාංග 6 විග්‍රහ කරන පත්‍රිකාවක් ද විය (14 වන රූපය). එකී පත්‍රිකාවේ සඳහන් පහත කරුණු, කනිෂ්ඨ බාලාංශ පන්තියේ මෙන් ම පාසල් අධ්‍යාපනයේ-ශිෂ්‍ය ඉගෙනුමේ ඉදිරි දැක්ම සහ පාසලින් ඉලක්ක කර ගන්නා බහුවිධ නිපුණතා මැනවින් සාරාංශ කරනසුලු ය.
·           සිනහවකින් ආරම්භ කරන්නට එකතු වී කියවිය හැකි පොතක් (Let's Play) : ළමයින්ට සහ පවුලේ සාමාජිකයන්ට එකතු වී කියවීම සහ ක්‍රියාකාරකම්වල යෙදීම ධෛර්යවත් කිරීම අරමුණු කර ගත් පොතකි (15-16 වන රූප).
·           සටහන් පොතක්: සංකේත-සලකුනු ලිවීම සහ සැකසීම පිළිබඳ ව, ළමයින්ට ස්වාභාවික ව ම සතු වන මුල්කාලීන  සංවර්ධන රටා නිරූපණය කිරීමට භාවිත කළ හැකි හිස් පිටු සහිත කුඩා පොතකි..
·           පාට කරන පැන්සල්:  ශිෂ්‍යයාගේ නිර්මාණාත්මකභාවය, පරිකල්පනය සහ කුඩා මස්පිඩු සංවර්ධනය නිරූපණයට පාට පැන්සල් අවස්ථාව සලසයි.  ඒ සඳහා ඇවැසි වන, ශිෂ්‍යයාගේ ධෛර්යවත් බව, ඇති කිරීමේ ලා ද පාට කරන පැන්සල් උපකාරි වෙයි.    
·           ඇට, පස් ගුලිය, පැල සිටුවන පෝච්චියක්: ස්වාභාවික ලෝකයට ඇති සම්බන්ධය නිරූපණය  කිරීමට  සහ ධෛර්යවත් කිරීමටත් නිවෙස් සහ එළිමහන් පරිසරවල දී විමර්ශනය කිරීමට සහ ප්‍රශ්න ඇසීමට හුරු කිරීමටත් පෝච්චියේ සිටවන ඇටය සහ එය වැඩෙන අයුරු නිරීක්ෂණයටත් උදව් කරනු ඇත. (මේ පැළ කිරීම සඳහා උපදෙස් ද සපයා තිබේ. පැළය ක්‍රමානුකූල ව වැඩෙන අයුරු නිරීක්ෂණය කර, දරුවෝ විවිධ ලෙස ශාඛ පිළිබඳ ව උගනිති (කලින් කල, 17-19 වන රූප ගෙන, ක්‍රමානුකූල ව පැළයක් වැඩෙන අයුරු මම ද නිරීක්ෂණය කළෙමි).
·           විශාලක කාචයක්: විමර්ශනය සහ අරුමපුදුම දෑ නිරූපණය කිරීමට සහ ඒ සදහා  පෙලඹවීමට භාවිත කළ හැකි ය.
·           බුබුඵ නිපදවනයක්: ස්වයං-නියාමන උපායමාර්ගයක් ලෙස, ළමයින්ට ගැඹුරින් හුස්ම ඉහළ පහළ හෙළීම නිරූපණය කිරීමට සහ ඒ සදහා  පෙලඹවීමට, අවකාශය පිළිබඳ සංවේදිතාව ධෛර්යවත් කිරීමට, වාචික භාෂාව සහ සන්නිවේදන චර්යාව සංවර්ධනය කිරීමට උදව් වේ  (ස්වයං නියාමනය ද ඉතා වැදගත් මනෝ විද්‍යාත්මක සංකල්පයකි. දැනට මේ පිළිබඳ ව අප රටේ පාසලේ මෙන් ම උසස් අධ්‍යාපනයේ ද අවධානය නැති බවට උදාහරණ ඇත.) 
බාලාංශ පන්තිවල, ළමා මිතුරු ශෛලිය සහිත ව, ශිෂ්‍ය මනසෙහි විවිධ පාර්ශ්ව පෝෂණය කරන, විවිධ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණතාව ඔප නන්වන ක්‍රියාකාරකම් පවතින බව මින් පැහැදිලි ය. එහෙත් "ළමා මිතුරු ශෛලිය"  වැනි සටන් පාඨ නම් උපුටනු දක්නට නො ලැබේ. 




















No comments:

Post a Comment