Sunday 22 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (63) මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් (3 වන ලිපිය)




III    වන වර්ගීකරණය
මිශ්‍ර ක්‍රම පිළිබද කරුණු දක්වන ජෝන් ක්‍රෙස්වෙල් John W. Creswell (2012) Educational Research: Planning, conducting and evaluating quantitative and qualitative research. 4th ed.  Boston: Pearson (පෙර ලිපියේ 3 වන රූපය බලන්න) පෙන්වා දෙන මිශ්‍ර ක්‍රම පිරිසැලසුම් (designs) 6ක් මෙසේ ය. මෙයින් මුල් පිරිසැලසුම් හතර  මූලික ය. ඉතිරි දෙක වඩා සංකීර්ණ ය.
·      The convergent parallel/concurrent design අභිසාරී සමගාමී පිරිසැලසුම (සමගාමී ව එක්තැන් කිරීමේ පිරිසැලසුම)
·      The explanatory sequential design පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම
·      The exploratory sequential design ගවේෂණය මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම
·      The embedded design  ඔබ්බවන/ ගිල්ලවන ලද පිරිසැලසුම
·      The transformative design පරිණාමන පිරිසැලසුම
·      The multiphase design බහු පියවර පිරිසැලසුම

මේ එකිනෙක පිරිසැලසුම්වල අදාළ මූලික ආකෘති, ක්‍රෙස්වෙල් විසින් දක්වනු ලැබ ඇති ආකාරය 4 වන රූපයේ දැක්වේ.
·      අභිසාරී සමගාමී මිශ්‍ර පිරිසැලසුම The convergent parallel/concurrent design
පර්යේෂණ ගැටලුවකට සහ එයින් සුවිශේෂි කර ගත් පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ම එක් පියවරක/ ාර්ශ්වයක (one phase) දී එක් වර හෙවත් සමගාමී ව, එහෙත් වෙන වෙන ම,  දත්ත රැස් කරනු ලැබේ. රැස් කරන දත්ත ගොනු (data sets) දෙක, වෙන වෙන ම විශ්ලේෂණය කර ලැබෙන අනාවරණ අනතුරු ව සසඳනු ලැබේ. සැසඳීම අනුව ප්‍රවේශ දෙකින් ම ලැබෙනුයේ සමාන අනාවරණ ද නැතිනම් ප්‍රතිවිරුද්ධ අනාවරණ  දැයි විමසනු ලැබේ. දත්ත ගොනු දෙක ඍජු ව එකිනෙක හා සැසඳීම නිසා දත්ත මූලාශ්‍රයවලට අභිසාරි ලක්ෂණය හිමි වේ.
එක් ආකාරයකින් රැස් කරන දත්තවල, නැති නම් එක් ප්‍රවේශයක ඇති අඩුපාඩු අනික් විධි ක්‍රමයෙන්/ ප්‍රවේශයෙන් ලැබෙන දත්තවලින් ශක්තිමත් කරලීම, මේ පිරිසැලසුම සදහා වන මූලික තාර්කිකයයි. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ලබන දත්ත හා අනාවරණ හරස් පරීක්ෂාවට (cross validate) ද මේ මගින් හැකි වේ. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක දත්ත ද රැස් කිරීමෙන්,  පර්යේෂණ ගැටලුව ගැන වඩා සම්පූර්ණ අවබෝධයක් ද ලැබිය හැකි ය. පුද්ගලයන් ටික දෙනකුගෙන් ලබා ගන්නා  ගුණාත්මක දත්තවල තිබිය හැකි අඩුපාඩු සපුරාලන්නට, වැඩි පුද්ගලයන් සංඛ්‍යාවකගෙන් ව්‍යූහගත දත්ත රැස් කිරීමේ උපකරණවලින් රැස් කර ගන්නා ප්‍රමාණාත්මක දත්තවලට හැකි ය. ඒ ආකාරයෙන් ම ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම්වල දී, ප්‍රතිචාර දක්වන නියැදි සාමාජිකයන්ගේ ප්‍රතිචාරවලට පදනම් වු පසුබිම් සාධක/කරුණු සවිස්තරාත්මක ව නො ලැබෙන විටක, (උදා- ඔබ පාසලේ විදුහල්පතිගේ අධීක්ෂණ භූමිකාව පිළිබඳ ව සතුටු වන්නේ ද? දැඩි ව සතුටු වෙමි....... සතුටු වෙමි.......මධ්‍යස්ථයි........ සතුටු නො වෙමි....... කිසිසේත් සතුටු නො වෙමි....... යන පැණයට ලැබෙන ප්‍රමාණාත්මක  ප්‍රතිචාරයෙන්, පිළිතුරට පදනම් වූ කරුණු ගැන  අදහසක් නො ලැබේ) අමතර දත්ත රැස් කිරීම සඳහා පාසලට පිවිස, සබැදියාව ගොඩ නඟා ගෙන, විවෘත සම්මුඛ සාකච්ඡා හෝ ව්‍යූහගත නො වන නිරීක්ෂණයෙන් ගුණාත්මක දත්ත රැස් කළ යුතු ය.
තවත් උදාහරණයක් බලමු. ශ්‍රී ලංකාවේ 6 වන ශ්‍රේණියේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ගණිත සාධනයේ රටා හඳුනා ගැනීම සඳහා වන පර්යේෂණයක දී, ශිෂ්‍යශිෂ්‍යාවන්ට පිළිතුරු දීමට දෙන ගණිතය ප්‍රශ්න පත්‍රයකින් ද ගණිත සාධනයේ රටා ගැන ගුරුවරුන්ට සහ දෙමාපියන්ට දෙන ව්‍යූහගත ප්‍රශ්නාවලියකින් ද ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් දත්ත රැස් කර, විස්තරාත්මක සහ අනුමිතික සංඛ්‍යාන ක්‍රමවලින්  එම දත්ත විශ්ලේෂණය කරනු ලැබේ. මේ සඳහා වන නියැදිය, 6 වන ශ්‍රේණියේ ශිෂ්‍යශිෂ්‍යාවන් සහ ගුරුවරුන්-දෙමාපියන් සංගහනය නියෝජනය වන පරිදි තෝරා ගත යුතු ය.
ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ඒ අයුරින් දත්ත රැස් කරන අතර ම, සමාන්තර ව,   6 වන ශ්‍රේණියේ ගණිතය පාඩම් නිරීක්ෂණයෙන් ද ගුරුවරුන් හා දෙමාපියන් සමග විවෘත සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් ද ගුණාත්මක දත්ත ලබා ගෙන, එම දත්ත ගුණාත්මක ප්‍රවේශය අනුව උද්ගාමී ව විශ්ලේෂණය කර, ගණිත සාධනයේ රටා ගුණාත්මක දත්ත පදනමින් ද හඳුනා ගත හැකි ය. නිරීක්ෂණය කළ යුතු පාඩම් ගණන ද සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන ගුරුවරුන් හා දෙමාපියන් ගණන ද තීරණය විය යුත්තේ "රැස් වන දත්තවලින්, නැවත දත්ත රැස් කිරීම අවශ්‍ය නො වේ. දැනට රැස් කළ දත්තවලින් පන්තිකාමර පාඩම් ගැන ද ගුරු දෙමාපිය අදහස් ගැන ද තවත් අදහස් රැස් කිරීම අවශ්‍ය නැත" යන සංතෘප්ත බව (Saturation) පර්යේෂකට ඇති වූ විට ය. දත්ත සංතෘප්ත බව පර්යේෂකට ඇති වන විට, නිරීක්ෂණ, ගුරු හා දෙමාපිය සම්මුඛ සාකච්ඡා යන දත්ත රැස් කිරීමේ ක්‍රම තුනින් ලැබෙන දත්ත, ත්‍රිකෝණීකරණය කර සමාන රටා පවතී දැයි පරීක්ෂා කළ හැකි ය.
     මෙසේ ප්‍රවේශ දෙකින් ම, පර්යේෂණ ගැටලුවට අදාළ ව සමගාමී ව දත්ත රැස් කර, දත්ත වෙන වෙන ම විශ්ලේෂණය කළ පසු ලැබෙන අනාවරණ, අනතුරු ව සසඳා බැලිය යුතු ය; පර්යේෂණ ගැටලුව සහ එයින් සුවිශේෂි කර ගත් පර්යේෂණ ප්‍රශ්නවලට අදාළ ව අර්ථකථනය ද කළ යුතු ය.

·      පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික මිශ්‍ර පිරිසැලසුම The explanatory sequential design
ාර්ශ්ව හෙවත් පියවර (phases) දෙකක පර්යේෂණ ආකෘතියකි  (two-phase model). හෙවත් අවධි දෙකක පිරිසැලසුමක් සහිත මිශ්‍ර පර්යේෂණයකි.  ඒ අනුව පළමු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පර්යේෂණ ගැටලුව හෝ අරමුණුවලට අදාළ සාමාන්‍ය චිත්‍රය (general picture) හදුනා ගනු ලැබේ. සාමාන්‍ය චිත්‍රය, පිරිපහදු කිරීමටත් (to refine), ව්‍යාප්ත කිරීමටත් (extend), පැහැදිලි කිරීමටත් (explain) අනතුරු ව ගුණාත්මක දත්ත රැස් කරනු ලැබේ.
ඒ අනුව පළමු ව (නැති නම් පළමු වන පියවරේ දී) ප්‍රමාණාත්මක ප්‍රවේශය අනුව පර්යේෂණය කළ යුතු ය (උදාහරණයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි, අහඹු ලෙස තෝරා ගත් 3 වන වර්ගයේ පාසල් 80ක නියැදියකින්, 1 වන ශ්‍රේණියේ ගුරුවරුන් 100ක නියැදියක් ද අහඹු ව තෝරා ගෙන, ගුරුවරුන් පළ කරන භූමිකාව පිළිබඳ  ව සමීක්ෂණ පර්යේෂණයක් කළ හැකි ය. ආවෘත ප්‍රශ්නාවලියක් සහ ව්‍යූහගත නිරීක්ෂණ පත්‍රිකාවක් භාවිතයෙන් දත්ත රැස් කර, සංඛ්‍යාන විද්‍යාත්මක ව විශ්ලේෂණය කළ යුතු ය. අනාවරණ හඳුනා ගත යුතු ය.) ප්‍රමාණාත්මක පර්යේෂණයෙන් ලද අනාවරණ තවදුරටත් පැහැදිලි කර ගැනීම, අර්ථනිරූපණය කිරීම සහ තහවුරු කර ගැනීම සඳහා, දෙ වන පියවරේ දී ගුණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කළ යුතු ය. එහි දී සමීක්ෂණයේ අනාවරණ තවදුරටත් පැහැදිලි කර, අර්ථනිරූපණය කර, තහවුරු කර ගැනීමට, උචිත පරිදි,  විවෘත සම්මුඛ සාකච්ඡා, ව්‍යූහගත නො වන නිරීක්ෂණ හෝ නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා පදනම් වූ ගුණාත්මක පර්යේෂණයක් කළ යුතු ය. ඒ සඳහා ප්‍රමාණාත්මක පර්යේෂණය සඳහා භාවිත කළ නියැදියෙන් කුමන පාර්ශ්ව සහභාගිවන්නන් ලෙස තෝරා ගත යුතු ද? කුමන ආකාරයෙන් ඔවුන්ගෙන් දත්ත රැස් කළ යුතු ද? යන කරුණු ගැන විශේෂයෙන් සිතිවිලි යොමු කළ යුතු ය.   
     අවසන, පාර්ශ්ව හෙවත් පියවර දෙකේ ම අනාවරණ අර්ථනිරූපණය කළ යුතු ය. ඒ අනුව පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි ය.
                                                      
·      ගවේෂණය මුල් වූ අනුක්‍රමික මිශ්‍ර පිරිසැලසුම   The sequential exploratory design
ඉහත විස්තර කළ, පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික මිශ්‍ර පිරිසැලසුමෙහි දී පළමු ව ප්‍රමාණාත්මක දත්ත රැස් කර දෙවනු   ගුණාත්මක දත්ත රැස් කද මේ පිරිසැලසුම් දවනුයේ පළමු ව ගුණාත්මක දත්ත රැස් කර දෙවනු ව ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීමයි. මේ පිරිසැලසුමේ තර්කය වනුයේ පළමු ව ගුණාත්මක දත්ත රැස් කිරීමෙන්, කිසියම් සංසිද්ධියක් (Phenomena) ගවේෂණයට ලක් කිරීමයි. ඒ අනුව සංසිද්ධිය පිළිබඳ ව හඳුනා ගන්නා සම්බන්ධතා පැහැදිලි කිරීමට ද නිශ්චය කිරීමට ද දෙවනු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් දත්ත රැස් කරනු ලැබේ.
 මේ පිරිසැලසුම් අනුව පර්යේෂණයක් කිරීමේ දී කිසියම් සංසිද්ධියක් (උදාහරණ වශයෙන් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය, පාසල්වල අධීක්ෂණය පිළිබඳ ව ගුරුවරුන්ගේ සංජානන) පළමු ගුණාත්මක ප්‍රවේශයෙන් ගවේෂණය කරනු ලැබේ. එමගින් එම සංසිද්ධියට අදාළ තේමා හඳුනා ගනු ලැබේ. දෙවනුව එම තේමා පදනම් කර ගෙන ව්‍යූහගත  ප්‍රශ්නාවලියක් හෝ නිරීක්ෂ පත්‍රිකාවක් සංවර්ධනය කර එමගින් ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් දත්ත රැස් කරනු ලැබේ. මේ අනුව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ලබා ගන්නා අවසාන මිනුම්වලට හෙවත් නිගමනවලට ගුණාත්මක ප්‍රවේශයෙන් සහභාගි වන්නන් ලබා දුන් දත්ත ද පදනමක් සපයයි. මේ පිරිසැලසුමේ ශක්තියට ද එය හේතුවකි.
පර්යේෂකයකු කිසියම් පර්යේෂණයක් අරඹන විට එම පර්යේෂණ පිළිබඳ ව ප්‍රමාණවත් පෙර පර්යේෂණ, පර්යේෂණ සාහිත්‍යය පදනම් කර ගෙන සොයා ගත නො හැකි නම් සහ, පර්යේෂණයට නාභිගත කර ගන්නා සංගහනයට අදාව පවතින පර්යේෂණ උපකරණ සහ  විචල්‍ය ගැන දැනුම්වත් භාවයක් නැති නම් මේ ප්‍රවේශයෙන් පර්යේෂණ කර ගෙන යා හැකි ය. මේ අනුව පර්යේෂණයේ පාර්ශ්ව (phases) දෙකක් පවතී.

·      ගිල්ලවන/ඔබ්බවන ලද මිශ්‍ර පිරිසැලසුම The embedded design 
මෙතෙක් සාකච්ඡා කළ පිරිසැලසුම්වල පරිදි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත සමාන්තර ව හෝ එකිනෙකට එකක් පසු ව හෝ සමාන වැදගත්කමින් යුතු ව රැස් කළත්,  මේ පිරිසැලසුමෙහි ලක්ෂණය වනුයේ, එක් ආකාරයක දත්ත අනිත් ආකාරයේ දත්තවලට සපයනුයේ සහාය සේවාවක් වීමයි. එක් ආකාරයකින් රැස්කළ දත්ත තවදුරටත් උද්දීපනය කිරීමට හෝ ඒවාට සහාය වීමට, අනිත්  ආකාරයේ දත්ත රැස් කරනු ලැබේ. උදාහරණයක් වයෙන් ප්‍රමාණාත්මක ප්‍රවේශය අයත් සම්පරීක්ෂණ පර්යේෂණයක් කරන විට, සම්පරීක්ෂණ ප්‍රතිකාරය ලබන සම්පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්, ලබන ප්‍රතිකාරයේ දී ඇති වන හැඟීම් ගැන දත්ත රැස් කිරීමට, ගුණාත්මක ප්‍රවේශය භාවිත කළ හැකි ය. ඒ සඳහා ප්‍රතීකාරය ලබන අයට, තම හැඟීම් ලියන්නට දින පොත් ලබා දිය හැකි ය.  එසේ ම ප්‍රමාණාත්මක සම්පරීක්ෂණ පර්යේෂණයේ දී ප්‍රතිකාරය හෙවත් මැදිහත් වීම කෙතරම් ඵලදායි දැයි මැන බැලීමට, ප්‍රතිකාරයට පෙර සහ පසු ගුණාත්මක දත්ත රැස් කර, පර්යේෂණ නියැදියේ අදහස් ඉස්මතු කර ගත හැකි ය. ඒවා අනතුරු ව සැසදිය හැකි ය.
අනෙක් අතට සම්පරීක්ෂණයේ දී කළ යුතු මැදිහත් වීම හෙවත් ප්‍රතිකාරය, වඩා හොදින් සැලසුම් කිරීමට ද, මැදිහත් වීමට පෙර රැස් කරන ගුණාත්මක දත්තවලින් ලබන අදහස් භාවිත කළ හැකි ය. එසේ ම  සම්පරීක්ෂණ මැදිහත් වීම කරන අතර, සම්පරීක්ෂණ ප්‍රතීකාරයට භාජන වන අයට දිනපොතක් නඩත්තු කිරීමට උපදෙස් දීමෙන් ගුණාත්මක දත්ත රැස් කිරීමේ හැකියාව ඇත.
තවත් උදාහරණයක් ගත හොත්, සහසම්බන්ධ පර්යේෂණයක දී (Correlation research) ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සහසම්බන්ධතාව පරික්ෂා කළ ද එම සම්බන්ධතාවට හේතු සහ සම්බන්ධතාව සඳහා බලපෑ කරුණු ගැඹුරින් සොයා බැලීමට ගුණාත්මක දත්ත රැස් කළ හැකි ය.
මේ පිරිසැලසුමේ දී ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රවේශ දෙකින් පර්යේෂණ කිරීම සඳහා වෙන වෙන ම පර්යේෂණ ප්‍රශ්න ගොඩ නැගිය යුතු ය. 2007 Harrison කළ පර්යේෂණයක් අනුව (Harrison, A. (2007). Relationship-building in an undergraduate leadership program in teacher education. Unpublished doctoral dissertation, University of Nebraska–Lincoln.) ගුරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධි අපේක්ෂකයන්ට පැවති උපදේශන වැඩසටහනක් ගැන කළ සහසම්බන්ධ පර්යේෂණයක දී උපදේශක සහ උපාධි අපේක්ෂකයින් 18 දෙනකු අතර ඇති සම්බන්ධතාව, අවුරුදු දෙකක් ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශයඅනුව සංවර්ධනය කළ ඉන්වෙන්ටරියක් මගින් මිනුමට ලක් කරන ලදී.  6 වරක් මිනුම් කළ නිසා අන්වායම අධ්‍යයනයක් සතු ලක්ෂණ ද ඊට ඇතුළත් ය. පර්යේෂණයේ දී උපදේශක හා උපාධි අපේක්ෂකයින් අතර ධනාත්මක සම්බන්ධතා ගොඩ නැගීමට අදාළ වූ කරුණු හඳුනා ගැනීමේ අරමුණින් ගුණාත්මක දත්ත ලබා ගැනීමට, නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා ද අමතර ව පවත්වන ලදී.

·      පරිණාමන මිශ්‍ර පිරිසැලසුම The transformative design
පරිණාමන මිශ්‍ර පිරිසැලසුමෙහි දී, මෙතෙක් සාකච්ඡා පිරිසැලසුම් හතර ම භාවිතයට ගත හැකි නමුත් එම පිරිසැලසුම් පරිණාම රාමුවක් (Framework) හෙවත් කාචයක් (lens) අනුව මෙහෙයවිය යුතු ය. හෙවත් පර්යේෂණ ක්‍රියාදාමය පරිණාමනය විය යුතු අයුරු පෙන්වන රාමුව, පිරිසැලසුම යා යුතු ම පෙන්වන කාචයක් සේ ක්‍රියා කරනු ලැබේ. රාමුව පදනම් කර ගෙන, පර්යේෂණයේ සමස්ත පරමාර්ථයත් පර්යේෂණ ප්‍රශ්නත් දත්ත රැස් කරන ආකාරයත් ප්‍රතිඵලත් විග්‍රහ කරනු ලැබේ.
රාමුව මගින් කරනුයේ තෝරා ගත් සමාජ කණ්ඩායමකට අදාළ සුවිශේෂී රාමුවක් සකස් කිරීමයි. උදාහරණ වශයෙන් ස්ත්‍රීවාදය, ජාතිවාදය, වර්ගවාදය, විශේෂ අවශ්‍යතා සහිත මයි, සමලිංගික කණ්ඩායම් යන සුවිශේෂී ක්ෂේත්‍රවලින් එකක් රාමුවක් වයෙන් ගෙන, එම රාමුවට අදාව පර්යේෂණ ප්‍රශ්න ගොඩ නගා, උචිත පිරිසැලසුමත් මගින් පර්යේෂණය කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ සන්දර්භය ගත හොත්, තේවතුවල වැඩකරන ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ව පවතින සුවිශේෂී ලක්ෂණ පදනම් කර ගෙන, එය ආකෘතියක්/රාමුවක්යෙන් ගෙන මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුමකින් පර්යේෂණයක් කළ හැකි ය. තවත් උදාහරණයක් ගත හොත් මව හෝ පියා විදේශ ගත වීම, දික්කසාද වීම, වෙන් වීම යන ශ්‍රී ලාංකික සන්දර්භයේ නව ප්‍රවණතාව නිසා, එම රාමුවට අදා, තනි මාපිය පවුල්වල (Single parent family) ළමයින්ගේ අධ්‍යාපනය කෙබඳු ආකාර වන්නේ ද යනු හඳුනා ගැනීමට මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් භාවිතයෙන් පර්යේෂණයක් කළ හැකි ය.

·      බහු පියවර මිශ්‍ර පිරිසැලසුම The multiphase design
බහු පියවර පිරිසැලසුම සඳහා පදනම් වනුයේ මහා පරිමාණ පර්යේෂණ ව්‍යාපෘති වේ. රටවල් ගණනාවක් එකතු වී කරන තනි පර්යේෂණයක් (උදා- ආසියානු රටවල ගණිතය හෝ භාෂා විෂයය පිළිබඳ සමාලෝචනයක්; අධ්‍යාපනය සහ රැකියා වෙළෙඳ පොළ අතර සම්බන්ධය සකස් විය යුතු අයුරු)  මෙන් ම එක් රටක විවිධ පර්යේෂණ හැකියා සහිත කණ්ඩායම් එකතු වී,  විවිධ ගැටලු හඳුනා ගැනීම පදනම් කර ගත් පර්යේෂණ සමූහයක් එක් ව්‍යාපෘතියක් ලෙස ගෙපර්යේෂණයේ නියැළීම මෙහි දී අදහස් වේ. මේ අනුව මුලින් ම විස්තර කළ පිරිසැලසුම් හතර පර්යේෂණ ගැටලුවට පිළිතුරු සොයා යන පර්යේෂකයන්ට, වෙන් වෙන් පර්යේෂණ වසයෙන්, නමුත් පොදු පරමාර්ථයක් ඇති ව භාවිත කළ හැකි ය.
මේ පිළිබඳ  ව ශ්‍රී ලංකාවේ 2007 දී කළ පර්යේෂණයක් ‍ක්‍රෙස්වෙල් විසින් උපුටා දක්වනු ලැබ තිබේ. එම පර්යේෂණයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක සේ සේවය කළ ආචාර්ය අශෝකා ජයසේන සම්බන්ධ වීම ගැන ද විශේෂයෙන් සදහන් කළ යුතු ය. වර්ෂ කිහිපයක්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක පර්යේෂකයන් 6 දෙනකු සම්බන්ධ වී කළ පර්යේෂණයකි.
 ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ළමයින් සදහා උචිත වන සේ, මානසික සෙෘඛ්‍ය සංරචක පිළිබඳ ව, සංස්කෘතිය පාදක නිර්වචන සම්පාදනය සඳහා වූ පර්යේෂණයකි.  මීට අදාළ පර්යේෂණ වැඩසටහනේ විවිධ පියවරවල  දී මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් පහක් භාවිත කර තිබේ.  අන්තර්ජාලයේ (http://journals.sagepub.com/doi/abs/10.1177/1558689806298181) ඇති පර්යේෂණයේ සාරාංශය මෙසේ ය. (Nastasi, B. K., Hitchcock, J., Sarkar, S., Burkholder, G., Varjas, K., & Jayasena, A. (2007). Mixed methods in intervention research: Theory to adaptation. Journal of Mixed Methods Research, 1(2), 164–182.). එහි සදහන් මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් බලන්න.

Abstract
The purpose of this article is to demonstrate the application of mixed methods research designs to multiyear programmatic research and development projects whose goals include integration of cultural specificity when generating or translating evidence-based practices. The authors propose a set of five mixed methods designs related to different phases of program development research: (a) formative research, Qual →/+ Quan; (b) theory development or modification and testing, Qual → Quan →/+ Qual → Quan ... Qual → Quan; (c) instrument development and validation, Qual → Quan; (d) program development and evaluation, Qual →/+ Quan →/+ Qual →/+ Quan ... Qual →/+ Quan, or Qual →← Quan; and (e) evaluation research, Qual + Quan. We illustrate the application of these designs to creating and validating ethnographically informed psychological assessment measures and developing and evaluating culturally specific intervention programs within a multiyear research program conducted in the country of Sri Lanka.



6 comments:

  1. බොහොම වැදගත් අවශ්‍ය ලිපියක් සර්. බොහොම ස්තූතියි...

    ReplyDelete
  2. තුති. ඔබ කවුරුන් දැයි දැන ගැනීමට කැමතියි

    ReplyDelete
  3. Dear sir, thank you very much for your article. I read it again.
    Kokila

    ReplyDelete