Friday 13 July 2018

කැනඩාවේ අත්දැකීම් (73) සෙහොන, හොල්මන් සහ සිතේ ආගම


පුස්තකාලයට යන විට, එය ඉදිරියේ ම පිහිටි සොහොනක් දකින්නට ලැබේ. එය දැනට භාවිත කරන බවක් දක්නට නො ලැබේ. ඒ නිසා කිසියම් ඓතිහාසික වටිනාකමක් නිසා මේ සොහොන ආරක්ෂිත ව පවත්වා ගෙන යන්නේද යන ගැටලුව ඇති විය. මෙහි ඇති සොහොන් කොත්, කැනඩාවේ සිටි විශේෂ පුද්ගලයන්ගේ ද? යන කුතුහලය ද ඇතිවිය. පුස්තකාල ගොඩනැගිල්ලේ ම තැනක ඇති, අලුතෙන් කැනඩාවට පැමිණි අයට විවිධ උපදෙස් ගත හැකි අංශයට ගොස් එහි කවුන්ටරයේ සිටි, නීග්‍රෝ සම්භවයක ලක්ෂණ  දක්නට ඇති තරුණියකගෙන් මේ ගැන විමසුවෙමි. ඇය පැවසුවේ මේ ප්‍රදේශය අද තත්ත්වයට දියුණු වීමට පෙර, අවට විසූ වැසියන් භාවිත කළ සොහොන මෙය බවයි. දැනට සොහොන භාවිත නො වන බව ද පැවසීය. ඒ හැර එහි ඓතිහාසික විශේෂතාවක් නැති බව ද පැවසුවා ය. අනතුරු ව ඇය දැනටත් සොහොන්වල තැන්පත් කර ඇති මළසිරුරුවල නෑදෑයන් පැමිණ ගරුබුහුමන් දක්වන බව පැවසුවා ය. එය සත්‍යයක් බව සොහොනේ එක් සිහිවටනයක් අසල බිම තිබූ අලුත් මල්වඩමකින් පැහැදිලි විය.
          මගේ ගැටලුවට විසඳුම් ලබා දුන් අනතුරු ව ඇය අසල සිටි තවත් එතැන සේවය කරන කාන්තාවක  සමග හොල්මන් ගැන අදහස් පළ කරන්නට පටන් ගත්තා ය. තම නිවෙස් අසල සමහරු දුම් වැනි හොල්මන් ගැන දක්වන විශ්වාස ගැන ඇය කියා ගෙන කියා ගෙන ගිය නිසා මොනවා කියන්නේ දැයි තේරුම් ගැනීමට ද අපහසු විය.
            කැනඩාවේ ලක්ෂණයක් වන්නේ එසේ ම අධ්‍යාපන ක්‍රමයේ ද ලක්ෂණයක් වන්නේ කතා කරන්නට ද අදහස් පළ කරන්නට පුහුණුවක් දිම ය. වැඩ කළත් කරන වැඩේ ගැන වාචික ව කීමට ඇති පුරුද්ද ද සම්මුඛ පරීක්ෂණවල දී තක්සේරු කරනු ලැබේ. ඒ කුසලතාව ද මේ කාන්තාවට අපූරුවට ඇති බව සිතමින් නැවත සොහොන ළගින් යන විට කුඩා සොහොනට සාපේක්ෂ ව නූතන තාක්ෂණය අනුව ඉදි වී ඇති ගොඩනැගිලි සමූහය ද ගමනාගමන පද්ධතිය ද සුවිශේෂී ව දිටිමි. මෙවන් සංකීර්ණ සංවර්ධනයක් පසුබිම් කර ගෙන වුව ද මිත්‍යා විශ්වාස යයි කියන හොල්මන් සහ සත්‍ය නො වෙතැයි සමහරුන් තර්ක කරන ආගම් ද සමාජය සතු ව පවතින්නේ, අපට තවමත් හරිහැටි  නොතේරෙන කුමන හේතු නිසා ද යන්න ගැන සෙවීමත් අත්‍යවශ්‍ය බව ප්‍රත්‍යවේක්ෂණය කරමි.
             සොහොනට ආසන්න ව පිහිටි කුඩා දේවස්ථානය ද එකල සමාජයේ ජනගහනය කුඩා බව ද වර්තමාන ඉදි කිරීම් තාක්ෂණය ද අතර පරතරය නිරූපණය කරයි. මේ කුඩා දේවස්ථානය අසල, එයට වඩා විශාලවට ද උසින් ද ඉදි වී ඇති විශාල ගොඩනැගිලි දකින විට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවීමක් ගැන ආඛ්‍යානයක් මතකයට නැගිණි. පේරාදෙනිය භූමියේ කඳුපෙදෙසේ ඉදි වූ බෙෘද්ධ විහාරයට වඩා ඉහළ කඳු පෙදෙසක වෙනත් ආගමික ස්ථානයක් ඉදි කරන්නට යන විට, මතභේද සහිත විවාදයක් ඇති ව තිබේ. ඒ ගැන සිහල මහාචාර්ය ව සිටි ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතාගෙන් විමසු විට ඔහු  මෙසේ පවසා ඇත. "ආගම තිබිය යුත්තේ කඳු උඩ නො වෙයි. අප හදවත් තුළ ය."  





















No comments:

Post a Comment